මගේ මතකය

අනුරාධ සෙනෙවිරත්න නමින් ප‍්‍රකට මා උපන්නේ වර්ෂ 1938 ජූලි මස 13 වැනි බුද දින මහනුවරදී ය.  පේරාදෙණියේ ඊරියගම අපේ ගමයි.  අපේ පවුල පහළ මධ්‍යම පංතියට අයත් යයි කිව හැකියි.  සොළොස් වියේ දී එනම් 1928දී තරම මගේ පියා සමඟ ගම්පොළ දී විවාහ වූ මගේ මව ගැමි කාන්තාවකි.  මුලදී වෘත්තියෙන් ගුරුවරයෙකු වූ මගේ පියා තම වෘත්තියෙන් ඉවත්ව වෙළෙඳ ව්‍යාපාරයක නිරත විය.  එහෙත් එය සිතූ තරම් සාර්ථක නොවූ එකකි.  සහෝදරයන් තිදෙනෙකුට මැදි වී උපන් මම නිවුන් දරුවෙක්මි.  නිවුන් දරුවන් දෙදෙනා අතර වුවත් වයස පරතරය පුරා දවසකි.  මවත් නොමරා මමත් නොමැරී මෙලොව එළිය දුටු බව කියන ඒ කතාව මගේ මව මට පසු කලෙකදී කියා ඇත.  අවුරුදු පහක් ගත වනතෙක් ම ඇගෙන් කිරි උරා බොමින් හැදුණ මා ජීවත් කරන්නට ඇය දුන් ශක්තිය අනුබලය කියා නිම කළ නොහැකියි.

ගමේ නිවස අසල පිහිටියාවූ ඊරියගම පාසලට වයස අවුරුදු හතරේදී සිප් සතර හැදෑරීම පිණිස මා කැඳවාගෙන ගියේ ද මගේ මවයි.  ඇය එසේ කළේ ගමේ පාසලේ එනම්, සිරි සුබෝධාරාමයේ ලොකු හාමුදුරුවන් ළඟ පළමු වතාවට වැල්ලේ අ යන්න ලියවීමෙන් පසුව බව මට දැනුත් මතක ඇත.  ගමේ පාසලේ පස්වැනි පංතිය දක්වා සිංහලෙන් උගත් මට එකල පාසල් කාලයේ දී ඇසුරු කිරීමට ලැබුණේ ඊරියගම, ගන්නෝරුව යන ගම් දෙකින් පැමිණි සම වයසේ හා සමාජ තත්වයේ දරුවන් සමඟය.  කිසිදු ඉංගී‍්‍රසි වචනයක් හෝ නොදැන සිටිය ද එකල අප අවට ජීවත් වූ සුද්දන්ගේ ඉංගී‍්‍රසි තේරුම් ගැනීමට නම් මට අවකාශයක් ලැබුණේ කුඩා කල පේරාදෙණිය මල් වත්තටත් ඒ ඉදිරියෙන් තිබූ ගොල්ෆ් පිට්ටනියටත් ආගිය ගමන්වල දී සුද්දන් කතා කළ ඉංගී‍්‍රසි ඇසීමෙනි.

වයස අවුරුදු දහය වූ විට ගමේ පාසලෙන් මා ඉවත් කරගත් මගේ පියා ඉන්පසුව මා ඇතුල් කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය සඳහාය.  මගේ ජීවිතයේ ඉදිරි ගමනට පදනම වැටුනේ එතැනදී යයි කිව හැකියි.  මහනුවර නගරය මැදින් දිනපතා පාසල් යාමටත් ඉංගී‍්‍රසියෙන් ලියැවුණු පොතපත ද රැුගෙන කලිසම් හැඳගෙන ඉංගී‍්‍රසියෙන් උගන්වන පංතිවලට සහභාගී වීම මට අලුත් අත්දැකීමක් වූවා පමණක් නොව එය සමහර විටෙක ඔරොත්තු නොදුන් සමාජ අභියෝගයක් ද වූ බව මගේ හැඟීමයි.  මේ හැමෙකකටම වඩා මා නොඉවසූ කරුණක් වූයේ මගේ පියා අනුගමනය කළ දැඩි පිළිවෙතය.  බුලත් විටක් පවා නොකන ඔහු, නිබඳ වේවැලක් අතින් ගෙන මා පොතපත කෙරෙහි ම රඳවාලමින් පසුපසින් සිටියේය.  මා ඔහුගෙන් අපේක්ෂා කළ ස්නේහය වෙනුවට මට ලැබුණේ එබන්දකි.  කුඩා කල කෙළිදෙලින් හා සතුටින් මගේ ජීවිතය ගෙවුණේ නැත.  සෙල්ලම් බඩුවක් තරම්වත් දෙයක් පියගෙන් මට ලැබුණේ ද නැත.  විද්‍යා අධ්‍යාපනය කෙරෙහි එතරම් සතුටක් නොදැක් වූ ඔහුට එකල සමාජයේ ආදර්ශය වූයේ මහාචාර්ය ගුණපාල මලලසේකර, සෙනරත් පරණවිතාන, පරවාහැර වජිරඥාණ හිමියනුත් මුණ ගැස්වීම පිණිස මගේ පියා බුලත් හුරුලු ද ඇතිව කොළඹ එක්කරගෙන ගිය ගමන සිහිපත් වන විටය.  එතුමන් දෙපළගේ ආශිර්වාදය ලබාගත් ඔහු ආපසු පැමිණ මා යොමු කළේ භාෂා අධ්‍යාපනය සඳහා යි.  සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි හා දෙමළ යන භාෂා පාසල් වියේදී සිට ඉගෙනීමට මා යොමු කළේ මගේ පියායි.  ඔහුගේ අරමුණ වූයේ මා සිංහල, පාලි, සංස්කෘත භාෂා උගත් සිංහල බෞද්ධ උගතෙකු කිරීමයි.  ඒ අරමුණ කෙසේ ඉටුවුනාදැයි කිව නොහැකි වුවත් විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු කිරීමේ ඉලක්කය නම් සපුරා ඉටු වී ඇත.

අප බලාපොරොත්තු වන සියල්ල ඒ ආකාරයෙන් ම ඉටු වන්නේ ද නැත.  ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සාමාර්ථය ලැබ විශ්වවිද්‍යාල ප‍්‍රවේශ පංතියට ඇතුල් වූවා පමණි.  මගේ පියා බලවත්ව රෝගාතුර වී වසර දෙක-තුනක් ම ඔත්පල තත්වයට පත් විය.  ගෙදර සියලු ආදායම් මාර්ග ඇහිරී ගියේ ය.  අගහිඟකම් නිසා මගේ පාසල් ගමන ද අත්හිටියේය.  පවුලේ අපි සියලු දෙනා අසරණ තත්වයට පත්විමු.  පවුලක පරිහානියත් බීඳ වැටීමත් මෙතැනින් ආරම්භ විය.  ගේ දොර ඉඩකඩම් ද විකිණී ගියේ ය.  මහ පාරට නොවැටී ජීවිතය ගැට ගසා ගත්තේ ඉමහත් බාධක මැදිනි.  ලොකු අක්කා ගුරු සේවයට බැඳුනු විට මම ද ඒ අනුව යමින් රජයේ ගුරු සේවයට බැඳුණේ ඒ වන විටත් පළමු පෙළ ඉංගි‍්‍රසි හා සිංහල ජ්‍යෙෂ්ඨ සහතිකත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිංහල, ඉන්දියානු ඉතිහාසය, පාලි හා සංස්කෘතික විෂයන් සඳහා කලා උපාධි මධ්‍යම සහතිකය ද ලබා තිබුණ බැවිනි.  පළමු වරට 1958 දී ගුරු පත්වීමක් ලැබ හඟුරන්කෙත මධ්‍යම විද්‍යාලයට බැඳුණු මා එහි යවන ලද්දේ උසස් පෙළ පංතිය ආරම්භ කිරීම සඳහා යි.  වර්ෂ 1960 දී මාතලේ අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට ද එතැනින් හල්ඔලුව හා පේරාදෙණිය මහා විද්‍යාලයට ද මාරු වී සේවය කළ මට ගුරු වෘත්තිය ඉදිරි ජීවනෝපාය බව වැටහිණි.

අපේ ගම මැදින් ගලා ගිය මහවැලි ගෙඟ් කුඩා කල දිය නාමින් හා පීනමින් විවේකය ගත කළ මා ගං ඉවුරෙන් එගොඩ තිබූ රබර් වත්තට ද පිය නැඟුවේ ඔට්ටුපාලු හා රබර් ඇට ඇහිඳ ගනිමින් බමරුන් හා රබර් බෝල තනා ගැනීමට ය.  වැඩි කලක් නොයවා රබර් ගස් එකිනෙක බිම හෙළමින් සුවිසල් මන්දිර ඒ භූමියේ ඉදිවෙනු මට දක්නට ලැබුණි.  මගේ ගමේ මේ ඉදිවන්නේ ලංකා විශ්වවිද්‍යාලය බව තේරුම් ගැනීමට මට කලක් ගත විය.  සතර දෙසින් ඉලන්දාරි සිසුන් ද දේශ දේශාන්තරවල සුපතල විද්වතුන් ද මේ අපරාජිත භූමිය කරා ඇදී ආවෝය.  මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය පරණවිතාන, මහාචාර්ය හෙට්ටිආරච්චි, මහාචාර්ය හේමචන්ද්‍ර රායි වැනි උගතුන්ගේ රූ ඒ අතර දිස් විය.  මගේ සිත - කය මෙන් ම සමාධිය ද ඒ වෙතට ඇදී ගියේය.  පාසල් ගුරු වෘත්තිය විශ්වවිද්‍යාල ගුරු වෘත්තිය දක්වා ගෙන යන්නට හැකිනම් එය කෙතරම් අසිරිමත් විය හැකිදැයි එදා මට කල්පනා විය.  උත්සාහය ඇත්නම් වාසනාව මත ඒ අරමුණ කරා ළඟා විය හැකි බව කල්පනා කළ මා දැන් සිත යොමු කළේ පේරාදෙණිය කලා උපාධිය කෙරෙහිය.

මා සිංහල ගෞරව විශේෂ උපාධිය මෙවර හිමි කර ගත්තේ පාලි හා පුරා විද්‍යාව යන උප විෂයයන් ද සහිතවය.  මේ කාලයේ මහාචාර්ය හෙට්ටිආරච්චි මෙන් ම මහාචාර්ය සෙනරත් පරණවිතාන යන විද්වතුන් දෙපළ ළඟින් ඇසුරු කිරීමේ භාග්‍යය මම ලද්දෙමි.  මේ ඇසුර කෙතරම් දුරට ගියේ දැයි කිවහොත් සිංහල ඉගෙනීමට පැමිණි විදේශීය සිසුන්ට හා උගතුන්ට එම ඉගැන්වීම් කටයුතු මහාචාර්ය හෙට්ටිආරච්චි මැතිඳුන් විසින් පවරන ලද්දේ මා වෙත ය.  වසර 1963 දී පටන් එම කාර්යයේ නිරත වූ මා හට පසු කාලීන සිංහල උගතෙකු වූ ඇමරිකානු මහාචාර්ය ෙ–ම්ස් ගයර් මෙන්ම ජර්මන් හා රුසියන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද සිංහල ඉගැන්වීම භාර විය.  මේ කාර්යය මා කෙතරම් හොඳින් ඉටු කළේ ද යත් ජර්මන් ජාතික විද්වත් දෙපළක් දිනෙක මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගෙන් ඉල්ලීමක් කළහ.  එනම් ශිෂ්‍යත්ව හුවමාරුවක් වශයෙන් සිංහල ඉගැන්වීමට ලයිප්සිග් විශ්වවිද්‍යාලයට මගේ සේවය ලබාදෙන ලෙස ය.  ඒ වෙනුවෙන් මා හට පශ්චාත් උපාධිය හැදෑරීම පිණිස අවස්ථාව ලබා දිය හැකි බවත් යෝජනා විය.

මේ වන විටත් දෛවය මගේ ගමන් මග මා වෙත හෙළිකර දෙමින් සිටියේ ය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදේශිකයන්ට සිංහල ඉගැන්වූයේ පේරාදෙණිය මහා විද්‍යාලයයේ ගුරු පදවියේ ද නිරත වන ගමන් ය.  එකල තරුණයෙකු වශයෙන් සිටි මගේ සිත බෙහෙවින් බණ්ඩාරනායක දේශපාලනය කෙරෙහි ඇදී ගොස් තිබුණි.  එහි ප‍්‍රතිඵලය වූයේ 1965 මාර්තු ඡුන්ද විමැසීමෙන් පසු බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජයේ අධ්‍යාපන ඇමතිවර ඊරියගොල්ල මැතිතුමන්ගේ උදහසට ලක් වීමෙන් මා මෙන්ම එකල ගුරු වෘත්තියේ නියැලී සිටි අපේ රටේ සුප‍්‍රසිද්ධ ගුරු වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙකුගේ ද වැඩ තහනමට ලක් වීමය.

මේ අවදිය වන විට මම විවාහකයෙක් ද විමි.  විවාහ කටයුුතු නිසොල්මනේ සිදු වූයේ කලා කටයුතු වලට සහභාගී වී වේදීකාවේදී ම දැන හැඳින ගත් එකල මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි අයිරාංගනී කුමාරිහාමි නියරේපොල මෙනෙවියත් සමඟයි.  මේ සඳහා සාක්ෂිකරුවන් දෙදෙනා හැර විවාහ මංගල්‍යයක් හෝ උත්සවයක් නොවීය.

වැඩ තහනම මධ්‍යයේ මුහුණ දීමට සිදු වූ සියලු ප‍්‍රශ්න හා ගැටලු මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි මහතා විසින් විසඳා දෙන ලද අතර ජර්මන් ශිෂ්‍යත්වය ද එතුමන්ගේ මැදිහත් වීම මත සාර්ථකව හිමිකර ගැනීමට ද හැකි විය.  මේ අනුව ගුරු සේවයෙන් සමුගෙන 1965 ජර්මනියේ ලයිප්සිග් විශ්වවිද්‍යාලය කරා ගියේ කොපමණ වුවත් දුක් ගැහැට විඳ දරා ගනිම්න් පශ්චාත් උපාධිය සඳහා ශිල්ප හැදෑරීමේ අභිප‍්‍රායෙනි.  මේ වන විට පර්යේෂණ කටයුතු සඳහා මගේ සිත යොමු කර තිබූ හෙට්ටිආරච්චි මැතිඳුන් ඒ සඳහා අනුබලය ද මාර්ගෝපදේශකත්වය ද නොමදව ලබා දුන්නේ ය.

මගේ බිරිය අපරදිග නෘත්‍ය කලාව හැදෑරීම ආරම්භ කළ අතර මම මගේ භාෂා පර්යේෂණ කටයුතු කරගෙන ගියෙමි.  මේ වන විට අපි පුත් රුවනකගේ දරු සුරතල් බැලීමට තරම් වාසනාවන්ත විමු.  ඔහු නමින් උදයනයි.  බහ තොරන වියෙහි දී ඔහු ජර්මන් භාෂාවෙන් කතා කිරීම මට නම් සිත් ගත් දෙයක් නොවූයෙන් ආපසු සියරට බලා ඒමේ ආසාවත් ඒ සමඟම මතු විය.  මගේ අචාර්ය උපාධිය සඳහා කටයුතු කරගෙන යමින් සිටි අවස්ථාවේ දී මහාචාර්ය හෙට්ටිආරච්චි මැතිතුමන්ගෙන් ලැබුණු උපදෙස් හා මග පෙන්වීම එම කටයුත්ත සාර්ථකව නිම කිරීමට එක් හේතුවක් විය.  භාෂා ශාස්ත‍්‍ර, කලා ශිල්ප, පුරා විද්‍යාව හා ඉතිහාසය යන විෂයයන් කෙරෙහි මගේ උනන්දුව නිසාම පුරාතන සෙල්ලිපි ඇසුරින් සිංහල ආඛ්‍යාතයේ ආකෘතිය හා ඉතිහාසය ඉන්දු-ආර්ය භාෂා සමග සසඳමින් පර්යේෂණයට භාජනය කළෙමි.  දැඩි වෙහෙසක් හා කැපවීමක් ද කරමින් එම පර්යේෂණ කෘතිය ලියා අවසන් කිරීමට මා ගත් උත්සාහය මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක වන්නේ ද නැත.  එක් අවස්ථාවක දී පුරා මාස අටක් ම මා පොත් කාමරයටම ජීවිතය සීමා කළ විට මගේ නිහැඩියාව වටහා ගැනීමට නොහැකි වූ එක් මහාචාර්යවරයෙකු නොදන්වා ම කාමරයට කඩා පැන මගේ වැඩකටයුතු පරීක්ෂා කොට ඉමහත් සන්තෘෂ්ටියට පත් වූ සැටිත් මට තවම මතක ය.  වර්ෂ 1967 අවසන් මාසයේදී සම්මාන සහිතව ආචාර්ය උපාධිය ලබා ගැනීමට මට හැකි විය.  එයින් පී‍්‍රතියට හා උද්දාමයට පත් මහාචාර්ය ඞී.ඊ. හෙට්ටිආරච්චි මහතා මෙන්ම මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින් ද ශුභාශිංසනය පිරිනමමින් මා වෙත එවූ ලිපි දෙක මා ළඟ අදත් සුරක්ෂිතව පවතී.  කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ස්ථීර කථිකාචාර්ය ධූරයක් සඳහා මගේ නම යෝජනා කරන ලද්දේ ද එම විද්වත් දෙපළ විිසිනි.  එම නිර්දේශය මත සිංහල අධ්‍යයන අංශයට මා බඳවා ගත්තේ මහාචාර්ය ඇම්.බී. ආරියපාල මැතිඳුය.  ඒ සඳහා අනුබල දුන් අනෙක් විද්වතා වූයේ මහාචාර්ය ජයදේව තිලකසිරි මහතායි.  ඔහු මගේ උපාධධි පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු ද විය.

වර්ෂ 1968 දී පෙරලා දිවයිනට පැමිණි මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් යළිදු ජීවිතය ආරම්භ කළෙමි.  මේ වන විටත් ලේඛකයෙකු වශයෙන් සෑහෙන දුරක් මම පැමිණ සිටියෙමි.  පුවත්පත් කලාවට මා හුරු වූයේ පාසල් වියෙහිදීය.  මගේ පළමුවන ග‍්‍රන්ථය පළවූයේ 1960 දී වුවත් එය ලියා අවසන් කොට මුද්‍රණයට භාර දුන්නේ 1958 දීය.  වයස අවුරුදු 18 දී පමණ උපනිෂද් වැනි දාර්ශනික විෂයක් අරභයා පළමුවන ග‍්‍රන්ථය ලිවීමට මා පෙළඹුණේ කෙසේදැයි අදත් මට පේ‍්‍රහේලිකාවකි.  එම ගැටලුව මා තෝරා බේරා ගත්තේ ඉන්දීය නක්ෂත‍්‍රකරුවකු ලවා නාඩි වාක්‍ය කියවා ගැනීමෙනි.  ඔහුගේ ප‍්‍රකාශය පරිදි පෙර ආත්මයේ දී බමුණෙකු ලෙස ජීවිතය ගෙවූ මා වේද, වේදාන්තයන් ගැන මනා දැනුමක් ඇතිව සිටියෙකු වීම නිසා එම ජීවිතය මේ ආත්ම භවයේදීත් බලපෑ බවය.  එය එසේ වී නම් පූර්ව ජන්මයේ අත්දැකීම් හා ජීවන කුසලතා මේ ආත්ම භවයටත් හේතු වූවා විය හැකිය.  වර්ෂ 1973 දී කටුගස්තොට අලුතෙන් සාදා නිම කළ නිවාසයේ පදිංචියට ගිය අපි දෙවන පුත්රුවනගේ සුරතල් බැලීමට ද වාසනාව ලදිමු.  ඔහු නමින් චාරු ය.

මෙතැන් සිට හැම අවුරුද්දකට වරක් ම මා අතින් එක් පොතක් හෝ ලියැවී ඇත.  මේ වන විට ඉතිහාසය, පුරා විද්‍යාව, සිංහල සංස්කෘතිය හා කලා ශිල්ප අරභයා සිංහල හා ඉංගී‍්‍රසි භාෂා දෙකින් ම පොත් හැත්තෑවකට ආසන්නව ලියැවී ඇති අතර ඊට අමතරව ශාස්තී‍්‍රය සඟරාවලට ද ලිපි ලේඛන විශාල ගණනක් ද දිනපතා පුවත්පත් වලට සිය ගණන් ලිපි ද ලියැවී ඇත.  ශාස්තී‍්‍රය ජීවිතය තව තවත් ඔබ නංවමින් විදේශීය ශාස්තී‍්‍රය සම්මේලනවලට සහභාගී වී ඉදිරිපත් කළ දේශන වැදගත් තැනක් ගනියි.  ඉන් කිහිපයක් නම් කළහොත් 1976 දී ඉන්දියානු රජයේ ආරාධනයක් මත දේශන පැවැත්වීම සඳහා කළ ගමන ද 1992 දී ස්විස්ටර්ලන්තයේ රිට්ස්බර්ග් කෞතුකාගාර දේශන මාලාව ද ස්වීඩන් රජය මගින් ලත් ආරාධනයක් මත 1993 දී ස්ටොක්හොල්ම් නගරයේ දී පැවැත්වූ දේශනය හා 1994 දී රෝමයේ වතිකානුව මගින් කළ ආරාධනයක් පරිදි කළ බෞද්ධ දේශනය ද බටහිර අපි‍්‍රකාවේ දී 1995 දී පුරාණ ලංකාවේ වාරි කර්මාන්තය පිළිබඳ කළ දේශනය ද ජපානයේ දී 1995 දීත් ඉන්පසු කිහිප විටකත්, 2002 දී ඉන්දියාවේ බෝපාල් නගරයේ දී අන්තර්ජාතික බෞද්ධ සම්මේලන වාරයේ දී කළ දේශනයත් විශේෂයෙන් සඳහන් කළ හැකිය.  මෙකී ගමන්වලදී දෙවැනි පාවුලු පාප් වහන්සේ ද දලෙයි ලාමා ද මට මුණගැසුණහ.  1998 ක්යෝතෝවලදී පැවැත්වුණ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයත්, 1995 දී තායිවානයේ පැවති බෞද්ධ සම්මේලනයත් මට වැදගත්ය.  බෞද්ධ කථිකයෙකු වශයෙන් ලෝකයේ පිළිගැනීමට මා භාජනය වූ ආකාරය මෙම ආරාධනා වලින් පැහැදිලි වේ.  විදේශ ගමන් බිමන් සම්මේලන හා සම්මන්ත‍්‍රණ දේශන ගැන තොරතුරු පවසන මෙම අවස්ථාවේ වැදගත් සිද්ධීන් කිහිපයක් ගැන සඳහන් කිරීම වටී.

ස්වීඩනයේ රාජකීය සංගමය හා ස්විස්ටර්ලන්තයේ මානව හා සමාජ විද්‍යා සංගමය විසින් 1994 දී කරන ලද ආරාධනය පරිදි ස්ටොක්හොල්ම්වල පැවති අන්තර්ජාතික සම්මේලනයේ මගේ කතාවට පදනම් වුයේ ලක්දිව ආරාමික ජීවිතයේ සිදු වූ පරිහානියයි.  එසේම රෝමයේ වතිකානුවේ පැවති දේශනයේ මාතෘකාව වූයේ පවුල් ජීවිතය පිළිබඳ බෞද්ධ මතයයි.  මේ ගමනේදී පාප් වහන්සේ මුණගැසීමට ලැබුණු අවස්ථාව ජීවිතයේ වැදගත් සිද්ධියක් සේ සැලකිය හැකි අතර ආගන්තුකයෙකු වශයෙන් රෝමයේ සති දෙකක් නතර වී එම ඓතිහාසික නගරයත් කතෝලික පුරවරයත් නැරඹීමට වතිකානුවෙන් මම අවසර ලදිමි.  එසේ ම ජපානයේ ක්යොතො නගරයේ 1995 දී පැවති අන්තර්ජාතික බෞද්ධ සම්මේලන වාරයේදී ලොව බෞද්ධ නායකයන් මුණගැසීමේ භාග්‍යයත් මට හිමි විය.  මෙම අවස්ථාව මා වෙත ලබා දුන් අපවත් වී වදාළ මාපලගම විපුලසාර හිමියන්ගේ නාමය ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුව ඇත.  මෙම සම්මේලන වාරයේ දී දලෙයි ලාමා හමුවී සාකච්ඡුා කිරීමට ලැබුණු අවස්ථාව ද කිිසි දිනෙක අමතක කළ නොහැක.

පර්යේෂණ සඳහා අධි ශිෂ්‍යත්ව හිමිකර ගැනිම අතින් ද පී‍්‍රති විය හැකි වාර්තාවක් ඇත.  1965 දී හලේ විශ්වවිද්‍යාලයෙන් ලැබූ ශිෂ්‍යත්වයක් නිසා පශ්චාත් උපාධිය සඳහා ජර්මනියට යාමට අවස්ථාව ලැබුණු අතර 1977 දී ෆුල් බ‍්‍රයිට් අධි ශිෂ්‍යත්වයක් හිමි කරගනිමින් ඇමෙරිකාවේ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයට මෙන්ම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳීමට ද අවස්ථාව ලදිමි.  යළිත් 1988 දී පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයක් දිනා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ඇතුල් මම එහි සමාජ මානව විද්‍යා ආයතනයේ පර්යේෂණ කටයුතු වල ද යෙදුණෙමි.  ඉන් අවුරුදු දහයකට පසු එනම් 1998 දී මා ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳුණේ එහි ඉගැන්වීම් කටයුතු සඳහා යි.  ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය පදවිය සඳහා පිට පිට අවුරුදු ගණනක් ඉල්ලුම් කළ ද 1994 දී බලයට පත් ආණ්ඩුවේ එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ උදහසට ලක්වූයෙන් මගේ නම එම පදවියට යෝජනා වූයේ නැත.  ඔහු කලක් විශ්වවිද්‍යාලයේ මගේ ම සහෝදර ගුරුවරයෙකි.  ලන්ඩන් විශ්වවිද්‍යාලයට අවශ්‍ය වූයේ මගේ සේවයයි.  එය ඉටු නොවූ අවස්ථාවේදී එම විශ්වවිද්‍යාලය තම අදහස් කෙළින් ම ලංකා රජයට දැන්වීය.   ර්‍ණඑක්කෝ මේ පුද්ගලයා ලන්ඩන් සරසවියට එවිය යුතුය.  නැතහොත් අප දෙපාර්ශවය අතරැුති ගිිවිසුම අහෝසි විය යුතුය.” යනු එම පණිවුඩය විය.  මේ අවස්ථාවේ අසරණ වූ රජය මා කොළඹට කැඳවූයේ මගේ මව මිය ගිය දිනයේ ඒ සිද්ධිය දැන දැනය.  මෙය මට පාඩමක් මෙන්ම දඩුවමක් ද වූ බව මම අදත් අදහමි.  කිසිම ශිෂ්ට සමාජයක සිදු නොවන මෙවැනි සිද්ධියක් කෙසේ නම් අමතක කරම් ද?

ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳුණු මා එහි අවුරුදු දෙකක් ඉගැන්වීම් කටයුතුවල යෙදී ආපසු පැමිණිය ද ඔවුන්ගේ ඉල්ලීම වූයේ යළිත් මා පැමිණිය යුතු බවයි.  ලන්ඩන් විශ්වවිද්‍යාලීයය සඟරාවේ මා ගැන කිහිපවිට සඳහන් විය.  ඒ කියූ දෑ එක් වාක්‍යයකින් සම්පිණ්ඩනය කළහොත් එය මෙසේ දැක්විය හැක.   ර්‍ණමහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය අතිශයින් ම සාර්ථක වූයේ සිංහල, පාලි හා ථෙරවාදී බුදු දහම යන විෂයන් උගන්වමින් විවිධ විෂය ක්ෂේත‍්‍රවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සිත් ඇදගනිමින් ද ඔහු හඳුන්වා දුන් අලුත් විෂය එනම් ශී‍්‍ර ලංකාවේ ශිෂ්ටාචාරය ඉතාමත් ජනපි‍්‍රය වීමත් හේතුකොට ගෙනය.  මින් පිටවයාමත් සමඟ ඔහුගේ දැනුමත් සහජීවනයත් මිත‍්‍රත්වයත් හැමට සදාකාලිකව අහිමි වන්නේය.” යනුවෙනි.  මේ බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමටත් දැන්වීමට තරම් ලන්ඩන් විශ්වවිද්‍යාලය එඩිතර විය.  එංගලන්තයේ දෙවතාවක් ම දීර්ඝ කාලීන වශයෙන් ගත කිරීමට මට අවස්ථාව ලැබුණු අතර ඉන් පළමුවතාව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ගත විය.  එහිදී මහාචාර්ය රිචඩි ගොම්බ්රිච් මහතාගේ සමීප ඇසුර මට ඉමහත් ආශිර්වාදයක් විය.  ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගත කළ අවුරුදු දෙකක පමණ කාලය ඇතුලත දී ඉගැන්වීම් කටයුතුවලට අමතරව බාහිර කටයුතුවල නිරත වීමට ද අවකාශ ලැබුණි.  දකුණු ආසියාතික අධ්‍යයන කේන්ද්‍රය මගින් පිළියෙල කළ ප‍්‍රසිද්ධ දේශනයක් කෙරෙහි කාගේත් නෙත් සිත් යොමු විය.  වර්ෂ 1999 දෙසැම්බරයේදී මට ඇරයුමක් ලැබුණේ  ර්‍ණලංකාවේ සිංහල-දෙමළ වාර්ගික අර්බුදයේ ඓතිහාසික පසුබිම” ගැන ප‍්‍රසිද්ධ දේශනයක් කිරීමට ය.  ලංකාවේ සිංහල-දෙමළ කලකෝලාහල උත්සන්නව පැවති මේ වකවානුවේ දී ලන්ඩනයේ ජීවත්ව සිටි සිංහල-දෙමළ වර්ගයා ද උණුසුම්ව කල් ගෙවූහ.  ඒ නිසා රැුස්වීම් ශාලාව අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරීගිය අතර මා කළ කතාව කාගේත් ප‍්‍රසාදයට පාත‍්‍ර වූ වග ලැබුණු ප‍්‍රතිචාරයෙන් පැහැදිලි විය.  එම කතාව දැන් පොත් පිංචක් වශයෙන් එංගලන්තයේ ද ලංකාවේ ද පළ වී ඇත.  ලන්ඩනයේ ඇති ආසියාතික සංගමය ප‍්‍රබල සංවිධානයකි.  එහි උපදේශක මණ්ඩලයේ සිටින්නේ ද බි‍්‍රතාන්‍ය අගමැතිවරු ය.  මෙම සංගමයෙන් ප‍්‍රසිද්ධ දේශනයක් සඳහා මට ලැබුණ ආරාධනය කලාතුරකින් කෙනෙකුට ලැබෙන ගෞරවයකි.  එය වඩාත් ප‍්‍රබල වන්නේ මේ දක්වා එවැනි ඇරයුමක් කිසිදු ලාංකිකයෙකුට හිමි වී නැති බැවිනි.  දෙවැනි සහස‍්‍රකයේ ලන්ඩනයේ විවිධ කටයුතු සිදුවෙද්දී ආසියාතික සංගමය මට ආරාධනා කළේ සහස‍්‍රකයේ පළමු වැනි දේශනය කිරීම සඳහා ය.  ඒ සඳහා ඔවුන් පිළියෙල කළේ මින් වසර 150ට පමණ පෙර චාල්ස් ඩාවින් පරිණාමවාදය පිළිබඳ කළ ඔහුගේ ප‍්‍රථම දේශනය පැවැත්වූ ඓතිහාසික ශාලාවයි.  එදින මම කළ දේශනයට සවන් දීමට බි‍්‍රතාන්‍ය ජාතිකයෝ ශාලාවේ පිරී සිටියහ.  මේ අවස්ථාව ද මට අමතක කළ නොහැක.  බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලය ද මේ අයුරින් ම ප‍්‍රසිද්ධ දේශනයක් සඳහා මට ඇරයුම් කළේ එංගලන්තය තුළ ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයත්වය වැඩි දියුණු කිරීමේ අටියෙනි.  ලන්ඩනයේ සිට ආපසු පැමිණි මම යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වූයේ අවසාන වසර කීපය ගත කිරීමේ අටියෙනි.

2002 දී නව රජයේ අගමැතිතුමන් මා ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ සභාපති ධූරයට පත් කෙළෙන් එය වගකීමක් විය.  එහෙත් එම වගකීම නිසියාකාරව ඉටු කිරීමට තරම් සහයෝගයක් හා පසුබිමක් සංස්කෘතික අමාත්‍යාංශයෙන් නොසැලසුන විට අවුරුදු දෙකකින් පසු එම නිලයෙන් මම ඉවත් විමි.

විශ්වවිද්‍යාල ජීවිතය නැමති දුර්ග මාර්ගය ඔස්සේ පියවරෙන් පියවර පා නැගුවේ අවුරුදු ගණනාවක් ඒ සඳහා කල් ගෙවීමෙනි.  ව්‍යවහර වර්ෂ 1968 දී දෙවන ශ්‍රේණියේ කථිකාචාර්ය ධූරයකට පත් වූ මම වර්ෂ 1977 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයක් සඳහා කුසලතා උසස් වීමක් ලැබුවෙමි.  එම ධූරයේ වර්ෂ හතක් සේවය කිරීමෙන් අනතුරුව මා ඉල්ලුම් කළ සහාය මහාචාර්ය ධූරය විශ්වවිද්‍යාලය මගින් ප‍්‍රතික්ෂේප කලා පමණක් නොව යළිත් දෙවන ශ්‍රේණියේ කථිකාචාර්ය ධූරයට පහත හෙලන ලද්දේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ කිසිම ගුරුවරයෙකුට මේ දක්වා අත් නොවූ ඉරණමක් ද සනිටුහන් කරමිනි.

එවක පේරාදෙණිය අධ්‍යයන අංශයේ ප‍්‍රධානියා විසින් විශ්වවිද්‍යාල පාලක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාව ද පුදුම එකකි.  ඔහුගේ තර්කය වූයේ සිංහල අධ්‍යයන අංශය වූ කලී භාෂා හා සාහිත්‍යය උගන්වන අධ්‍යයන අංශයක් බැවිනුත් ම විසින් ලියා පළ කර ඇති පොත පත වූ කලී සිංහල සංස්කෘතිය, ජනශ‍්‍රැතිය හා ඉතිහාසය යන විෂයන්ට අදාළ වන බැවිනුත් ඒ පර්යේෂණ කිසිවක් මගේ උසස් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නොවන බවයි.  මොහුගේ මෙම ඉල්ලීමත් එකල විශ්වවිද්‍යාලය විසින් පිළිගන්නා ලදි.  විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප‍්‍රථම වරට සිදු වූ මෙම සිද්ධීන් පෞද්ගලිකව බලන කල විශ්වවිද්‍යාලය වැනි ආයතනයකට නොවටිනා බව කිව යුතුය.  එම අභාග්‍ය සම්පන්න සිද්ධිය මගේ ජීවිතය කෙරෙහි ද තදින් බලපෑ අතර ඒ මගින් මට හිමි වූ සියලු දුක් විඳ දරා ගත්තේ කර්මය ගැන සිහිකොට සිත සනසා ගැනීමෙනි.  දැන් සියල්ල සිදු වී හමාරය.  මේ පිළිබඳ යළි යළිත් සිහිපත් කිරීම අනවශ්‍යය.

පසුගිය තිස්වසර තුළ සිදු වූ කාරණා සම්බන්ධයෙන් සලකා බලන කල විශේෂයෙන් සඳහන් කළ යුතු බොහෝ දේවල් ඇත.  මේ කාලය ඇතුළත රටේ ජනනායකයන් කිහිප දෙනෙකු ළගින් ඇසුරු කිරීමේ භාග්‍යය ද මට හිමි විය.  සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, ප‍්‍රධාන ඇමති මණ්ඩලයේ සිටි මෛතී‍්‍රපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න වැනි ඇමතිවරුන් මේ අතර වෙති.  එකල ආණ්ඩුව විසින් හැත්තෑ දශකයේ මුල් භාගයේ ද කි‍්‍රයාත්මක කළ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සංස්කෘතික කටයුතු බොහෝමයක් කි‍්‍රයාත්මක වූයේ මගේ උපදෙස් පරිදිය.  රජරට ගම්මානවලට ජලය ගෙනයෑමේදීත් රජරට වැව් අමුණු මහවැලි ජලයෙන් පිරවීමේදීත් ඒ හා සම්බන්ධ වූ සියලු ආගමික හා සංස්කෘතික කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමටත් මෛතී‍්‍රපාල සේනානායක මැතිඳුන් සමග සංචාරය කිරීමටත් මට ලැබුණු අවස්ථාව අමතක කළ නොහැකිය.  1976 වර්ෂයේදී පොල්ගොල්ල මහවැලි උත්සවය මේ අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතුය.  එදින උත්සවයේ සියලුම සංස්කෘතික කටයුතු ද මා වෙතම පැවරී තිබුණි.  ඒ සියලු කටයුතු ම විසින් ඉටු කරන ලද්දේ ස්වේච්ජාවෙන්ම මිස රජයෙන් මුදල් ලබා ගැනීමෙන් නොවේ.

දිවංගත ආර්.පේ‍්‍රමදාස මැතිතුමන් සමඟ මගේ සමීප ඇසුරක් පැවතියේය.  එතුමන්ට ශාස්තී‍්‍රය උනන්දුවක් පැවතුන බැවින් කරුණු කාරණා දැනගැනීමට එතුමන් මා ඇමතීම පුරුද්දක් කරගෙන සිටියේය.  විවිධ මාතෘකා යටතේ ලියන ලද මගේ ශාස්තී‍්‍ර ග‍්‍රන්ථ හත අටක්වත් එතුමන්ගේ අනුග‍්‍රාහයෙන් ප‍්‍රකාශයට පත් වූයේය.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග මගේ ළග ඇසුර දැන සිටි පේ‍්‍රමදාස ජනාධිපතිතුමන් ඒ ගැන කිසි දිනෙකත් මගෙන් විමසා නැත.  එය දේශපාලන සම්බන්ධතාවක් නොවන බව දැනසිටි නිසා විය හැකියි.  විජය කුමාරතුංග මා හොඳින් දැන සිටි අතර ඔහු අපේ ගෙදර ආ ගිය ගමන් ගැන ද මට අද මෙන් මතකය.  විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වශයෙන් මීට තිස් වසරකට පෙර මට හමු වූ රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඇසුර දිගටම පැවතියේය.  එදා මෙන් අදත් එතුමන්ගේ ගති පැවතුම් මම අගය කරමි.  එහෙත් අප දෙදෙනා අතර දේශපාලන සම්බන්ධතාවක් නැත.  එයට හේතුව දේශපාලන උනන්දුවක් මට නැති බැවිනි.  මේ පිරිස හැරුණු විඨ උගතුන් හා කලාකරුවන් කිහිපදෙනෙකු පිළිබඳව ද සඳහන් කළ යුතුව ඇත.  සෙනරත් පරණවිතාන, චාල්ස් ගොඩකුඹුර වැනි ප‍්‍රාඥයන් මෙන්ම අමරදේව, ලයනල් එදිරිසිංහ, මකුලොලුව, ජෝර්– කීට්, මාර්ටින් වික‍්‍රමසිංහ, මහගම සේකර වැනි ලේඛකයන් හා කලාකරුවන් සමග නිබඳ ළග ඇසුර මේ අවස්ථාවේ දී මට සිහිපත් වේ.

විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ‍්‍රාම යාමට නියමිත ඇත්තේ 2004 පෙබරවාරි අගදී ය.  මේ ලිපිය ලියන මොහොත වන විට එ් සඳහා තවත් ඇත්තේ මාස තුනක් පමණ කෙටි කාලයකි.  පසුගිය වසරේ අවසාන භාගයේදී ඉන්දියානු මහබෝධි සමාගමේ ඇරයුමක් අනුව මා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ භෝපාල් අගනුවර පැවති අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයකට සහභාගී වූයේ සාංචිය හා මිහින්තලාව යන මාතෘකාව යටතේ දේශනයක් කිරීමටය.  එය සාර්ථකව නිම කළ ද ඉන්දියාවේදී මා රෝගාතුර වී ආපසු පෙරළා ලංකාවට පැමිණියේ පුරා මාස දෙකක් ම ඇඳේ වැතිරි සිටීමේ බලාපොරොත්තුවෙන් නම් නොවේ.  මෙම අසනීපය මගේ ජීවිතයේ විශාල පරිවර්තනයකට හේතු වූ අතර එය මතුවටත් බලපාන්නක් බව මට දැන් වැටහේ.  ජරාව හා ව්‍යාධිය මැදින් මරණය කරා යන ගමන මම දැන් ආරම්භ කර ඇත්තෙමි.  මගේ මරණය සිදුවන දිනය හා ආකාරය ද ගැන ශාස්ත‍්‍රකරුවන් මට කියා ඇත.  එම දිනය හා සිද්ධිය වෙනස් විය හැකි වුවද මරණය කෙදිනක හෝ නියත බව මම දැනගෙන සිටිමි.  මගේ පියා අවුරුදු අනූවක් පමණ ජීවත් වී 1973 දී මිය ගිය අතර මවු අවුරුදු අසූ පහක් ජීවත්ව 1998 දී මිය ගියාය.  විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගන්නා මොහොතේ මා මෙතෙක් පැමිණි ගමනත් අනාගතය පිළිබඳ මගේ සිතුවිලිත් සටහන් කර තැබීම වැදගත් යයි සිතමි.

විශ්වවිද්‍යාල ගුරුවරයෙකු සතු වගකීම හා යුතුකම කුමක්දැයි යන්න කෙරෙහි දැන් අවධානය යොමු කරමි.  විශ්වවිද්‍යාල ගුරුවරයෙකු වශයෙන් අවුරුදු තිස් පහක් ද පාසල් ගුරුවරයෙකු වශයෙන් තවත් අවුරුදු හත අටක් ද වශයෙන් ගෙන සම්පූර්න ගුරු වෘත්තියට අවුරුදු හතලිස් පහකට ආසන්න කාලයක් ගතකර ඇති මට මේ මොහොතේ ඇතිවන්නේ වෘත්තිය පිළිබඳ අනාගත විශ්වාස භංගත්වයයි.  විශ්වවිද්‍යාල අධ්‍යාපනය සීඝ‍්‍රයෙන් පරිහානිය කරා ඇද වැටෙමින් පවතින බව හැගී යන්නේ විශේෂයෙන් ම තරුණ ගුරුවරුන්ට තම වෘත්තිය වෙනුවෙන් කැප වීමක් හා වගකීමක් නැති බව පෙනී යන නිසාය.  පේරාදෙණියේ පමණක් ගත කළ පසුගිය තිස් වසර ඇතුළත එකම දිනක් හෝ විශ්වවිද්‍යාල පුස්තකාලයේ දී හමු නොවූ ගුරුවරු බොහෝ සිටිතී.  තමාගේ වෘත්තිය දෙස බලන කල නව දැනුමෙන් ගුරුවරයා සන්නද්ධ වීම විශේෂය.  ඒත් සමග පොත පත ඇසුරින් ලබන දැනුමට අමතරව පර්යේෂණ මගින් ඔහුගේ දැනුම ප‍්‍රකට කිරීමත් රටට ඒ මගින් සේවයක් සැලසීමත් ගුරුවරයාගේ යුතුකම හා වගකීම ද වන්නේය.  මේ දෙකින් එකක්වත් ඉටු නොවන කල විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?  දිනපතා විශ්වවිද්‍යාලයට ඒම තබා සතියකට පැයක් දෙකක් පමණක් පැමිණ පලා යන ගුරුවරු එමට සිටිති.  මේ අය පිළිබඳව විශ්වවිද්‍යාලයේ කිසිම කි‍්‍රයාමාර්ගයක් නැත.  පෞද්ගලික පංති පවත්වා මුදල් උපයන ගුරුවරු ද ඒ අතර වෙති.  මෙවැනි ගුරුවරුන් කරන්නේ කුමක් ද යන්නවත් සොයා බැලීමට කිසිවෙකු නැත.  පශ්චාත් උපාධිය තම සේවයේ ස්ථීරත්වයට සුදුසුකමක් වේ නම් ඒ සඳහා අවම සුදුසුකම බොහෝ තරුණ ගුරුවරුන් ලබාගන්නේ උපරිම කාලය ගත කිරීමෙනි.  මෙවැනි අය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුදැයි බලධාරීන් දැන්වත් කල්පනා කළ යුතුය.  දේශපාලනය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ කාර්යභාරය කුමක් විය යුතුද? ජාතික ප‍්‍රශ්න හමුවේ ඔහු නොපැකිළව තම අදහස් පළ කළ යුතුය.  එසේ වූවත් ඔහු කි‍්‍රයාකරිි දේශපාලනයෙහි නිරත නොවිය යුතුය.  දේශපාලනඥයන්ට ගැතිකම් දක්වා ඒ මගින් නිලතල ලබා ගැනීමද නොකට යුතුය.  එය ගුරු ගෞරවයට හානිකර බැවිනි.  වර්තමාන දේශපාලනය සමග ගුරුකම යා කළ හැකියැයි මම නොසිතමි.  විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික නිලතල සඳහා ද අද දේශපාලනය සුදුසුකමක් වී තිබීම කණගාටුදායක කරුණකි.

හතලිස් පස් වසරක ගුරු ජීවිතයේ අත්දැකීම් පිළිබඳව සැපයූ කෙටි සටහනකින් පසු යළිත් මගේ ජීවිත ගමනේ වෘත්තීය නොවන කාරණා ගැන සිත යොමු කරමි.  රජයෙන් ලබාගත් නිවාස ණයක් යොදා ගනිමින් ඉතා මහන්සියෙන් ඉතිරි කරගත් මුදලක් යොදා මිලට ගත් ඉඩමක අපට කියා ගෙයක් හදා ගැනීමට හැත්තෑව දශකය තුළ මා හට හැකි වීම ද ජීවිතයේ ලද එක් ජයග‍්‍රහණයකි.  මේ සඳහා අවුරුදු පහළොවක් ගත කළ බව ද සිහිපත් වේ.  දැනට පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන මට මෙතෙක් ආ ගමන ගැන ආපසු හැරී බලන කල සෑම අතින්ම පී‍්‍රති වීමට හේතු ඇත.  බාධක මැද වුවත් ජීවිතයේ සියල්ල සඵල කරගත් පුද්ගලයෙකු වශයෙන් මා අද බුක්ති විඳින්නේ ඉමහත් සතුටකි.  ලොව ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් මෙන් ම ආගමික නායකයන් ද විවිධාකාර වූ වැදගත් පුද්ගලයන් ද ඇසුරු කිරීමට තරම් මා භාග්‍යමත් වූයේ පෙර පිනෙන් බව මම විශ්වාස කරමි.  ධනීය ගෝපාලයා සෑහීමට පත් තම ජීවිතය ගැන තොරතුරු බුදුන්ට යම් ආකාරයෙන් පැවසීද මටත් මේ අවස්ථාවේ කියන්නට ඇත්තේ  ර්‍ණවලාකුළ දැන් ඉඳින් රිසි නම් පොළොව තෙමා වැහැපන්” කියාය.

වර්ෂ 1994 දී ශී‍්‍ර ලංකා ජනරජය මා වෙත  ර්‍ණකලා කීර්ති” ජාතික සම්මානය ද මහනුවර මල්වතු මහා විහාර කාරක සංඝ සභාව විසින් එම වසරේ දී ම  ර්‍ණධර්ම ශාස්ත‍්‍ර විශාරද කීර්ති ශී‍්‍ර” යන උපාධි නාමය ද පිරිනමා ගෞරව කළ අතර මහනුවර මහනගර සභාව ද මධ්‍යම පළාත් සභාව ද ලංකා ගුවන් විදුලි සේවය ද මා වෙත උපහාර දක්වා ඇත්තේ මෙතෙක් මවිසින් ඉටුකර ඇති අධ්‍යාපනික ශාස්තී‍්‍රය හා ආගමික සේවාව ද අගය කරමින් ගෞරව දැක්වීමෙනි.  අපේ රටේ ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරු ද මහ ඇමතිවරු ද කලින් කල ආශ‍්‍රය කිරීමට අවස්ථාව ලැබූ අතර එම ඇසුර නිසා දේශපාලන වශයෙන් පරිහානිය කරා නොයාමට තරම් පරෙස්සම් වීම මා ලැබූ තවත් ජයග‍්‍රහණයකි.  ඒ සියලු දෙනාගෙන් ම ගෞරව ලැබුවා මිස ඔවුන් පසුපස වාසි සොයා ගියේ නැත.  දේශ දේශාන්තර කලාකරුවන් දැන හැඳින ගෙන ඇසුරු කිරීමේ භාග්‍යය ද ඒ සමගම හිමිකර ගතිමි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාරුවක් ලබා පැමිණියේ 1973 ජනවාරි 1 වැනිදාය.  එය අන්‍යෝන්‍ය ස්ථාන මාරුවක් වශයෙන් සටහන් වී ඇත.  පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාල දෙකේ සිංහල අංශ අතර මේ මාරුවීම සිදු වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමන් සමගය.  එදා එතුමන් මට දුන් උපදේශයක් මට අද මෙන් මතකය.  එනම්  ර්‍ණපේරදෙණියට එනු හොඳයි එහෙත් වැඩට බැහල තරහකාරයන් ඇති කරගන්න එපා” යන්නය.  අද උසුලන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිය දක්වා පැමිණි ගමන බෙහෙවින් ම දුෂ්කර ගමනක් විය.

ලබාගත යුතු සියල්ල ජීවිතය තුළදී ස්වෝත්සාහයෙන් ම ලබාගත් දුර්ලභ ගණයේ පුද්ගලයෙකු වශයෙන් මම අද දින අභිමානයෙන් නැගී සිටිමි.  එය පෙර පිනද විය හැක.  මේ මොහොතේ මට යම් අඩුවක් හෝ පරාජයක් දැනේ.  ඒ නම් වයසත් සමග දුර්වල වන මගේ සෞඛ්‍ය තත්වයයි.  පසුගිය වසරේ අගදී ඉන්දියාවේ දී රෝගාතුර වී බිම ඇද වැටීමෙන් පසු දෙපයින් සෘජූව නැගී සිට ඉදිරියට යාමට දැන් මට වෙහෙසක් දැනේ.  එහෙත් අවසානය දක්වා රටට සේවයක් කරමින් ඉදිරියටම ම පියවර නගමි.  අධිෂ්ඨානය හා වීර්යය මා වෙත නොමදව ඇත.  මානව ශිෂ්ටාචාරය පුරා අපගේ සටන පංති අරගලය බව මම කල්පනා කරමි.  අප කවුරුත් දුක් විඳින්නේ එය ජය ගැනීමටය.  මෙතෙක් පැමිණි ගමනේ දී මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ඉතසිතින් පිං දෙමි.

අනුමෝදනා

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න - උපහාර ලිපි සංග‍්‍රහය - 2004

සංස්කරණය

මහාචාර්ය එච්. සෝමතිලක

ආචාර්ය එච්. එම්. ඞී. ආර්. හේරත්

Memorial Foundation

songs banner-011

getsinhala