උඩරට ගිවිසුම හා ඇහැළේපොළගේ ඉරණම

උඩරට රාජ්‍යයේ බිඳ වැටීමත් ඉංග‍්‍රීසි ආධිපත්‍යයේ ආරම්භයත්, ඉංගී‍්‍රීසිනට විරුද්ධව උඩරට සිදුවූ මහ කැරැල්ලත් සම්බන්ධයෙන්ඇහැළේපොළගෙන් සිදුවූ සේවාව ලංකා ඉතිහාසයේ අමරධෑය වෙයි. උඩරට රාජධානියේ අවසාන රජ වූ ශ්‍රී වික‍්‍රමරාජසිංහ (1798x1815) ගේ කෲරකම්වලට එරෙහිව සටන් වැදී සිහසුනෙන් ඔහු නෙරපා හැරීමට ඇහැළේපොළ එදා ඉංගී‍්‍රසීන්ගේ සහාය පැතූ අන්දමත්, අවසානයේදී ඉංග‍්‍රීසින් පාලනයෙහි තබා තම අපේක්‍ෂාවන් හා ජාතියේ අභිමතාර්ථද සුණු විසුණු කොටගෙනපරාජිතයෙකුවූ සැටිත් කියැවෙන ඇහැළේපොළගේ චරිතාපදානය එකම ශෝකාන්තයෙකි. මෙකී ක‍්‍රියාදාමය තුළින් ඔහු ලැබූ එකම ජයග‍්‍රහණයත් ප‍්‍රීතියත් වූයේ වඩිඟරජු සිහසුනෙන් නෙරපීම පමණකි. බීම පරමාර්ථයද සපුරා ගත්තේ තම දරු පවුල පවා කෲර රජතුමකු අතින් මැරුම් කෑමෙනි. ඉංග‍්‍රීසීන්ට උඩරට රාජ්‍ය ලබාදීමෙන් ඇහැළේපොළ අපේක්‍ෂා කළේ උඩරට රජකමය. එහෙත් කපටි උපාය මාර්ගයෙන් රාජ්‍ය ලබාගත් ඉංග‍්‍රීසීහු තම පරමාර්ථය මුදුන්පත් කොට ගත්හ. ඉංග‍්‍රීසීහු 1818 මාර්තු 3 දා ඇහැළේපොළ සිරභාරයට පමුණුවා 1825 වන තෙක් කොළඹ රඳවා තබා 1825දී මුරුසි දිවයිනට පිටුවහල් කොට හැරියෝය.

ඉන් වසර හතරකට පමණ පසු 1829 රෝගාතුරවූ ඇහැළේපොළ අපේ‍්‍රල් මස හතර වැනිදා මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56කි. දේශයේ නිදහස වෙනුවෙන් සටන් කළ ඇහැළේපොළ වෙනුවෙන් මුරුසි දිවයිනේ ඉදිවූ සිහිවටනය ඔහුගේ හුදකලා ජීවිතයත් ඒක පුද්ගල සටනත් පිළිබිඹු කරන සංකේතයක් වැන්න.

උඩරට රාජ පරම්පරාව යටතේ නොයෙකුත් පදවි ඉසුලූ කීර්තිමත් ඇහැළේපොළ පරපුරට දාව ඉපදුණු ඇහැළේපොළ විජයසුන්දර වික‍්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ රාළහාමි මාතලේ ඇහැළේපොළ ග‍්‍රාමයේදී 1773දී උපත ලැබීය. ඔහුගේ පියා ඌවේ දිසාපතිවරයා විය. මව පිළිමතලව්වේ පෙළපතට අයත්වූවාය. කුඩා කල යටවත්තේ හා කොබ්බෑකඩුවේ නායක හිමිවරුන් වෙතින් භාෂා ශාස්ත‍්‍රයද බුද්ධධර්මයද උගත් ඔහු නිසි වියට පැමිණි කල පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ දියණිය හා විවාහ වූයේය.

රාජාධිරාජසිංහ (1781x1798) හා ශ්‍රී වික‍්‍රමසිංහ යන දෙරජවරුන් යටතේ 1803 දී සත්කෝරලේ දිසාපති පදවිය දැරූ ඇහැළේපොළ පසුව මීගස්තැන්නේ අදිකාරම්ගේ මරණයෙන් පසු 1806දී උඩගම්පහේ අදිකාරම් ධුරයටද පත්විය. ශ්‍රී වික‍්‍රමරජු විසින් 1812දී ඇහැළේපොළගේ මයිලනුවන් වූ පිළිමතලව්වේ මහ අදිකාරම් මරණයට පත් කරනු ලැබීමෙන් හිස්වූ මහ අදිකාරම් පදවියද ලැබුවේය. වැඩිකල් නොයවා ඇහැළේපොළ නිලමේ නායක්කාර වංශික තම වඩිග රජුගේ කෲරකම් වලට විරුද්ධව සටන් වැදීමට පෙරමුණ ගත්තේය. ඔහුගේ අදහස වූයේ නායක්කාර රජු පලවා හැර උඩරට උරුමය සිංහලයන් අතට ලබා ගැනීමය. ඒ සඳහා ඉංග‍්‍රීසීන්ගේ සහාය පැතීමට ඔහු තීරණය කළේය. ඉංග‍්‍රීසීහු යටි සිතේ වෙනත් පරමාර්ථ තබා ගෙන ඇහැළේපොළගෙන් ප‍්‍රයෝජන ගත්තෝය.

තමන්ගේ අරමුණ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය පතුරුවා හැරීම නොවන වග කිහිප විට ජනතාවට ඒත්තු ගැන්වීමට ඉංග‍්‍රීසීහු උත්සාහ කළහ. 1814 මාර්තු මාසේ 4 හා 5 වනදා එක්නැලිගොඩ හමුවූ ජෝන් ඩොයිලි නමැති බි‍්‍රතාන්‍ය කොමසාරිස්වරයා කියා සිටියේ ද ප‍්‍රදේශ ලාබයත් බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයේ ව්‍යාප්තියත් තම අරමුණ නොවන බවය. වෙළෙඳාම හා සාමය පමණක් තම අරමුණ බව දැන්වීම නිසා මෙය වගකිවයුතු ප‍්‍රකාශයක් ලෙස එකල උඩරට ප‍්‍රභූන් කවුරුත් පිළිගත්තා නොඅනුමානය. මේවන විට මහනුවරත්, මුළු මහත් කන්ද උඩරටත් කැළඹීමට පත්ව තිබූ වකවානුවකි. ජනතාවගේ ප‍්‍රාර්ථනය වූයේද වඩිඟ රජු පළවා හැර ඇහැළේපොළ රජවනු දැකීමය. රජුගේ තර්ජනය වැඩිවිය.

ඇහැළේපොල නිලමේ ඩොයිලිගේ මාර්ගයෙන් ඉංග‍්‍රීසින්ගේ ආධාර පැතීය. 1814 මැයි 8 වන දින ඩොයිලි වෙත ලිපියක් යවමින් තමන් යුද කොට අල්ලා ගන්නා සියලූම පළාත්වලට උදව් උපකාර කිරීමටත් තමන්ගේ ගෞරවය හා තනතුරුද ආගමද ආරක්‍ෂා කිරීමටත් පොරොන්දු වෙතොත් බි‍්‍රතාන්‍යයන්ට යටත්වීමට පවා කැමති බවත් දැන්වීය. එහෙත් මැයි මස 12 වනදා වන විට තවදුරටත් තමන්ගේ ඉල්ලීම් සැහැල්ලූ කරමින් උඩරට පළාත් කිසිදු බැඳීමකින් තොරව ඉංග‍්‍රීසිනට පවරා දීමට පවා කැමති විය. මේ තත්ත්වය ගැන ඩොයිලි විසින් බ‍්‍රවුන්රිග් වෙත දන්වනු ලැබීය.

නිසි අවස්ථාව එළඹී ඇති බව බ‍්‍රවුන්රිග් දැන ගත්තේය. මැයි 21 වනදා ඇහැළේපොළට සහනදායි පිළිතුරක් ලැබුණි. රජුට විරුද්ධව කරන කැරැල්ලේදී රහසේ උපකාර කිරීමට පොරොන්දු වන අතර රජුට විරුද්ධව මෙම කැරැල්ල මෙහෙයවනු ලබන්නේ ඉංග‍්‍රීසීන් බව කිසිසේත් ඇඟවීමක් නොකළ යුතු බවට වගබලා ගතයුතු බවද එහි සඳහන් විය. මේ අනුව
ඉංග‍්‍රීසින්ගෙන් ආධාර ලබා එක්නැලිගොඩගේද සහාය ඇතිව ඇහැළේපොළ සටන දියත් කළේය. ඇහැළේපොළ රාජ්‍යද්‍රෝහියකු වශයෙන් සලකා ශ්‍රී වික‍්‍රමරාජසිංහ ඔහුගේ මුළු පවුලම විනාශ කොට දැමුයේද ඒ හේතුවෙන් බව කියනු ලැබේ. (ඇහැළේපොල පවුල ඝාතනය කරන ලද්දේ ඇහැළේපොළ නිලමේගේ රාජද්‍රෝහි ක‍්‍රියා නිසාමද නැතහොත් ඇහැළේපොළ කුමාරිහාමි පිළිබඳ රජුගේ සිතැඟි ඉටු නොවූ නිසාද යන්න වෙනමම සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි.)

තමන් යුද්ධයට ඉදිරිපත් වූයේද ඇහැළේපොළ නිසාම බව බි‍්‍රතාන්‍ය හමුදා නිලධාරීහු පවා පිළිගත්හ. මේ අනුව කන්ද උඩරට රාජ්‍යයට විරුද්ධව ඉංග‍්‍රීසින් එළි පිටම කළ සටනේ පසු පස බලවේගය වූයේද ඇහැළේපොළය.

කන්ද උඩරට ආක‍්‍රමණය කොට 1815 පෙබරවාරි 18 වැනිදා රජතුමාද අල්ලා ගැනීමට හමුදාව දුම්බර මැද මහනුවරට යවන ලද්දේද ඇහැළේපොළ විසිනි. මෙසේ ඉංග‍්‍රීසින්ගේ උපකාරයෙන් උඩරට රාජධානිය අල්ලා ගැනීමේ කාර්යය ඇහැළේපොළ විසින් නිමාවට පත් කරන ලදී. ඇහැළේපොළ ඝාතනයෙන් මුළු රට කම්පා වී ගිය සැටි මෙතරම් ඉක්මනින් ජනතාවට අමතකවී යා නොහැක. ඔවුහු දින දෙකක්ම ආහාර නොගත්හ. ලිප ගිනි නොමැලවූහ.

ශෝකයෙන් හා කම්පාවෙන් මුළු මහත් නගරයම ඇලලී ගිය සැටි මෙම සිද්ධිය සිදුවී අවුරුදු දෙක තුනකට හෝ පසුව වාර්තාගත කිරීමට ඬේවිට අවස්ථාව ලැබුණේ ඒ නිසා විය යුතුය. මුළු මහත් ජනතාවම තාඩන හා පීඩනයට පත්කොට සිංහල වීරවරයකුගේ දරු පවුල සාහසිකව ඝාතනය කළ කෲර රජ කෙනෙකු සිහසුනෙන් නෙරපා හැර ජයග‍්‍රහණය ලද මේ වැනි මොහොතක ජනතාව උදම් වෙද්දී ඇහැළේපොල නව රජු වශයෙන් පිළි ගැනීමට ජනතාව බලා සිටියාට සැකයක් නැත. ඩොයිලි 1815 පෙබරවාරි 27 වැනි දින ඇහැළේපොළ නිලමේ හමුවීමට ගියේය. එහිදී ඇහැළේපොළ ඩොයිලිගෙන් ඉල්ලීමක් කළේය.

රජෙකුට බඳු ගෞරවණීය පදවියක් තමනට නොලැබෙතොත් තමනට විශ‍්‍රාම ගැනීමට ඔහු අවසර පැතීය. ඉංග‍්‍රීසීන්ගේ සිත වෙනස් වී රාජ්‍ය පිළිබඳ කෑදර සිත මතුවී ඇති සැටි ඔහුට අවබෝධ විය. ඇහැළේපොළ පෙබරවාරි 28 වනදා ආණ්ඩුකාර බ‍්‍රවුන්රිග් හමුවී අප‍්‍රසාදය පළ කර සිටියේ තමනට කිසි පදවියක් අවශ්‍ය නොවන බව දන්වමිනි. ඔහුට එදින මුදලින් පිරිනැමුණු පගෝදි දහසක පාරිතෝෂිකයද ඔහු මහත්මයකු සේ ප‍්‍රතික්‍ෂේප කළේය. 1815 මාර්තු 2 වැනිදා සිංහල පැය ක‍්‍රමයට ඉර මුදුන්වී දස පැයක් ඉක්මවූ කල ඉංග‍්‍රීසි හා සිංහල ප‍්‍රභූ පිරිසක් මහනුවර මගුල් මඩුවට එක්රැස් වූහ.

ඉංග‍්‍රීසි රජු නියෝජනය කරමින් පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ ඉංග‍්‍රීසි ධජය එසවූ බ‍්‍රවුන්රිග් නිල වශයෙන් උඩරට රාජ්‍ය බි‍්‍රතාන්‍ය කිරුළට ඈඳා උඩරට ගිවිසුම නමින් හැඳින්වෙන වගන්ති දොළොසකින් යුත් ලේඛනයක් ඔවුන් ඉදිරියේ කියවා අදිකාරම්වරුන් හා දිසාවේවරුන්ගේද අනුමැතිය හා අත්සන සඳහා ඉදිරියේ තැබීය.

අද අප දකින එම ගිවිසුමට අත්සන් තබා ඇති උඩරට ප‍්‍රභූන්ගේ නම් අතර පෙරමුණේ ඇත්තේද ඇහැළේපොළ නමයි. එහෙත් එම ගිවිසුමට උඩරට ප‍්‍රභූන් සියලූ දෙනා එකවර අත්සන් නොකළ බවද සමහරුන් මාර්තු 10 වැනි දින අත්සන් තැබූ බවද ඩොයිලිගේ දින පොතින් පැහැදිලිවේ. ඇහැළේපොළ ගලගොඩ හා පිළිමතලව්වේ අත්සන් කර ඇත්තේ මාර්තු 18 වැනිදාය.

උඩරට ගිවිසුමේ දක්නට ලැබෙන අත්සන් හා දින වකවානු ගැන සැලකීමේදී පෙනී යන වැදගත් කරුණු කීපයකි. එයින් පළමුවැන්න උඩරට මහ නිලමේ වශයෙන් ඇහැළේපොළ නියත වශයෙන්ම උඩරට ගිවිසුමට අත්සන් කළේද යන්නයි. එම ගිවිසුමේ දක්නට ලැබෙන්නේ ඔහුගේ පුරුදු අත්සනම නොවන අතර රාජ්‍ය භාරය පැවරීම වැනි ඉතා වැදගත් කරුණකදී එයට මුල්වූ සෙන්පතියාගේ අත්සන නොමැතිව අනෙකුත් නිලමේවරුන් අත්සන් කළේද යන්නත් ප‍්‍රශ්නයකි.

ඇහැළේපොළ නිලමේ මෙම ගිවිසුමට 18 වැනිදා අත්සන් කළ බවට අපට ඇති එකම සාධකය ඩොයිලිගේ දින පොතයි. එහිදීද ඇහැළේපොළගේ නම සඳහන්වී ඇත්තේ වරහන් තුළදීම සැකයට තවත් හේතුවකි. මගේ වැටහීම නම් ඉංග‍්‍රීසීන්ගේ උඩරට ගිවිසුම සම්පූර්ණ ප්‍රෝඩාවක් පමණක් නොව ඇහැළේපොළ අත්සන් නොකළ හෝ ඔහු වෙනුවෙන් යමෙකු අත්සනක් යෙ¥ හොර ලියැවිල්ලක් බවය. රට පාවාදීමට ඇහැළේපොලට අවශ්‍යතාවක් නොතිබූ අතර ඔහුගේ එකම පරමාර්ථය වූයේ දකුණු ඉන්දීය වඩිග ආක‍්‍රමණයෙන් රට මුදවා ගැනීමට ඉංග‍්‍රීසීන්ගේ සහයෝගය පැතීම පමණකි. ඉංග‍්‍රීසීන් සමග යෙදුණු මෙම සූදුවෙන් පරාජයට පත්වූයේ ඇහැළේපොළ පමණක් නොව මුළු මහත් උඩරට ජනතාවමය.

මේ අනුව මාර්තු 2 වැනිදා උඩරට ගිවිසුමට උඩරට වැදගත් ප‍්‍රභූන් එකවර අත්සන් නොතැබූ බව පෙනේ. උඩරට ගිවිසුම ක‍්‍රියාත්මක වු 1815 මාර්තු 2 වනදා වත් ඇහැළේපොළට සැලකීමට තබා ඔහුගේ ඉල්ලීමට ගරු කිරීමට තරම් වත් ඉංග‍්‍රීසීහු කෘතවේදී නොවූහ. මාර්තු 11 වනදා ආණ්ඩුකාරවරයා හමුවූ ඇහැළේපොළ වැලපෙමින් කියා සිටියේ ඉංග‍්‍රීසින්ට පක්‍ෂපාතී වීම නිසා සිය ඥාතීන්ද, ගේ දොර ඉඩ කඩම්ද නැතිවූ බවය. ඔහුට සෑහෙන දීමනාවක් ගෙවන බවට පොරොන්දු වෙමින් කොළඹට පැමිණ ජීවත් වන ලෙස ආණ්ඩුකාරවරයා ඔහුගෙන් ඉල්ලීමක් කළේය.

රජකම පැතූ ඇහැළේපොළට ගමක්, බිමක් පවා දැන් නැති බව සතුරන් පවසන සැටිත් මෙහිදී ඇහැළේපොළ ආණ්ඩුකාරවරයාට මතක් කර සිටියේය. ඇහැළේපොළ 1815 මාර්තු 15 වැනිදා ද ඩොයිලි හමුවී තමන්ගෙන් සිදුවූ සේවාවට සලකන සේ ඉල්ලා සිටියේය. උඩරට රාජධානිය ඉංග‍්‍රීසීන්ට යටත්වී දැන් දින පහළොවක් ගතවී ඇත. 1815 මාර්තු 18 වැනි දින දහවල් 3.00ට
පමණ ඇහැළේපොළ නැවතත් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් මුණ ගැසුණේය. තමන්ට සියලූ දේ අහිමිවී කිසිවෙකුත් නැතිව සිටින මේ මොහොතේ මීගස්තැන්නේ අදිකාරම්ගේ වැන්දඹුව වූ පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ වැඩිමහල් දියණිය හා විවාහ වීමට අදහස් කරන බවත් ඒ සඳහා පගෝදි 2000 හෝ 3000ක් අවශ්‍ය බවත් කියා සිටියේය. ඔහුට පගෝදි 5000ක් පිරිනැමීමට ආණ්ඩුකාරවරයා එකඟවූයේ එතැනින් තමාගේ බැඳීම් අවසාන වන බව සිතා විය යුතුය.

එසේ වුවද පරිත්‍යාගය ගැන ප‍්‍රශංසාව පළකළ ඇහැළේපොළ බි‍්‍රතාන්‍ය රජයට සේවය කිරීමට පොරොන්දු වෙමින් මේ අවස්ථාවේදී නැවතත් ඔහුගේ ඉල්ලීම ඉදිරිපත් කළේය. සමහරු තමන්ට අප‍්‍රසාදය පළකරමින් අවමානයෙන් යුතුව දොස් පවරන බවත් ඒ නිසා උඩරැුටියන් සියලූදෙනාටම ප‍්‍රමුඛ වන පරිදි සිංහලයන් කිසිවෙකුටත් ලැබිය නොහැකි ගෞරවධෑය පදවියක් ලැබිය යුතු බවත් ඉල්ලා සිටියේය. ලංකාවේ බි‍්‍රතාන්‍ය රජයේ නියෝජිතයාට දෙවන නොවන කුමන පදවියක් හෝ පිරිනැමීම ගැන ඔහු නැවතත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කළේය.

තමන්ගේ අපේක්‍ෂාව ලියා ඉදිරිපත් කරන ලෙසටත් එවිට ගෞරවනීය පදවියක් පිරිනමන බවටත් ආණ්ඩුකාරවරයා එහිදී පොරොන්දු විය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා සිංහලේ රජු වශයෙන් දැන් සැලකෙන නිසා ඇහැළේපොළ ඉල්ලා සිටියේ යුවරජ පදවිය හා සමාන තනතුරක් බව පැහැදිලිය. එදිනම රාත‍්‍රී භාගයේදී ඇහැළේපොළ උඩරට ගිවිසුමට තම අත්සන යොදන්නට ඇත්තේ කොළඹට පිටත් වීමට ආසන්නව සිටි බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ වචනය නැවතත් විශ්වාස කළ නිසා විය යුතුය. මුළු රටත්, ජනතාවත්, ඇහැළේපොළ රජ වූ බව ඇසීමට හෝ යුවරජ වූ බව ඇසීමට පුල පුලා සිටියා නොඅනුමානය.

ශ්‍රී වික‍්‍රමරාජසිංහ අල්ලාගත් අවස්ථාවේදී රාජ්‍ය භාණ්ඩ භාරව සිටි ඝට්ටඹිරාළ රජුගේ ආභරණ වලින් කොටසක් ඇහැළේපොළට දුන්නේද ඔහු රජු වෙතැයි යන අදහසින් විය යුතුය. තමාගේ බලයෙන් උඩරට අල්ලා ගත් ඉංග‍්‍රීසින් හමුවේ ඉමහත් බලාපොරොත්තුවකින් සිටි සිංහල ජනතාව හමුවේ යුවරජෙකු සේ පෙනී සිටීමට තරම් ආත්මශක්තියක් හා අයිතියක් ඇහැළේපොළට විය.

පෙර රජතුමා රාජශ්‍රීයෙන් නගරයේ ගමන් කළ පරිදි පිරිවර ජනයා සහිතව ඇහැළේපොළද සුදු අශ්වයකු පිට නැගී නගරයේ ගමන් කළේය. ජනතාව ඔහුට ගෞරවයෙන් යුවරජ, දෙවැනි රජ්ජුරුවෝ මහනිළමේ ආදී වශයෙන් ඇමැතීමට පුරුදුව සිටි වග ඇහැළේපොළ වර්ණනාව වැනි කෘතී හා වෙනත් ලේඛනයන්ගෙන් පවා පැහැදිලිවේ. ආත්මාර්ථකාමී ඉංග‍්‍රීසිහු ඇහැළේපොළ පිළිබඳ සැකයෙන් ජීවත් වූහ. ඇහැළේපොල රජ කෙනෙකු වශයෙන් මහජනයා ඉදිරියේ පෙනීසිටීමට ගත් සෑම උත්සාහයක්ම ඉංග‍්‍රීසින්ගේ මෙන්ම මොල්ලිගොඩ, මිල්ලව වැනි අනෙක් සිංහල ප‍්‍රභූන්ගේද අප‍්‍රසාදයට හා කනස්සල්ලට භාජන වූ බව ඩොයිලිගේ දිනපොතින් පැහැදිලිවේ.

රජගේ රාජාභරණ පවා වංචා සිතින් සඟවා ගෙන සිටිනා බවට ඉංග‍්‍රීසින් සැක කළ සිටි බ‍්‍රවුන්රිග්ගේ ආණ්ඩුකාරයා එංගලන්තයේ යටත් විජිතභාර ලේකම්වරයාට 1816x11x05 හා 1818x7x24 දිනවල යැවූ ලිපිවලින් මනාව පැහැදිලිවේ. එහෙත් ඇහැළේපොළ 1815 මාර්තු 12 වන දින ආණ්ඩුකාරවරයාට අන්තිම රජුගේ ආභරණ භාරදුන් වග ඩොයිලි සඳහන් කරයි.

දළදා වහන්සේ නැවත මහනුවරට වැඩමවා ලීම ඉංග‍්‍රීසින්ගේ මීළඟ බලාපොරොත්තුව විය. දළදා වහන්සේගේ භාරකාරත්වය රාජ්‍යයේ සංකේතය බව ඒ වන විට ඔවුහු දැන සිටියෝය. උත්සවය සංවිධානය විය. 1815 අපේ‍්‍රල් 24 වැනිදා පුසුල්පිටියේ සිට හිඳගලටත්, හිඳගල සිට මහ පෙරහරින් මහනුවරටත් දළදා වහන්සේ වැඩම කරන ලද්දේය. මේ පෙරහැරේ පසුපස ඇහැළේපොළ අශ්වයකු පිට නැගී පිරිවර සමග ගමන් ගත්තේය. එයද ඉංග‍්‍රීසින්ගේ උදහසට ලක්වූවා නොඅනුමානය. ඇහැළේපොළගේ බලාපොරොත්තු මෙන්ම උඩරට ජනතාවගේ අපේක්‍ෂා බිඳ වැටෙමින් පැවතිණි. තමන් කර ගත් මෝඩකම ගැන සිංහල ප‍්‍රභූන්ගේ ඇස් ඇරෙමින් පැවතිණ. ඉංග‍්‍රීසි පාලනය කෙරෙහි ජනතා විරෝධය යටින් ලියලමින් පැවතිණ.

මේ වූකලී 1817x18 ඉංග‍්‍රීසීන්ට විරුද්ධව ඇතිවූ උඩරට කැරැල්ලේ පසුබිම නිහඬව සකස් වෙමින් පැවතුන අවදියකි. උඩරට ගිවිසුමේ ප‍්‍රකාර හතරවැනි වගන්තියෙන් උඩරට රාජ්‍ය තුන්වන ජෝර්ජ් රජතුමන් හට පවරණ ලද වුවත් අදිකාරම්, දිසාවේ, මොහොට්ටාල, කෝරාල, විදානේ හා අනෙකුත් මුලාදෑනීන්ට ඔවුන්ගේ බලතල හා සම්බන්ධ අයිතිවාසිකම් හා සමාන වරප‍්‍රසාදද බලතලද කවර ගනයක වුවත් ජනතාවගේ සම්මත චාරිත‍්‍ර හා ඔවුන්ගේ දේපොළ හා අයිතිවාසිකම්ද සහතික කරන ලදී, එසේම බුද්ධාගමට හානියක් නොපැමිණෙන බවටත් පූජා පිළිවෙත්ද පූජනීය ස්ථානද සංඝයා වහන්සේද බි‍්‍රතාන්‍ය රජය විසින් ආරක්‍ෂා කරන බවටත් ඉංග‍්‍රීසීන් පස්වෙනි වගන්තියෙන් ප‍්‍රතිඥා දෙන ලදී. එහෙත් ඒ සියල්ල කඩ කරමින් ඔවුහු කටයුතු කළහ. උඩරට ජනතාව ඉමහත් කනස්සල්ලෙන් කල් ගෙවූහ.

සිංහලයන්ගෙන් උඩරට රාජධානිය ඉංග‍්‍රීසින් කොල්ල කෑවේ වංචාවෙනි. ඇහැළේපොළ වැනි කාරුණික හදවත් ඇතියවුන් රැවටීමෙනි. උඩරට ගිවිසුම උඩරට ප‍්‍රභූන්ගේ අපේක්‍ෂාව නොවූ අතර ඉංග‍්‍රීසි ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂාව නොවීය. මේ දෛවෝපගත සිද්ධි දෙකකි. උඩරට මහ කැරැල්ල තුළින් ඇහැළේපොළ ජාතියට අහිමි විය. කැප්පෙටිපොළ මඩුගල්ලේ ඇතුළු දහස් සංඛ්‍යාත සිංහලයන්ගේ ජීවිත නිදහස වෙනුවෙන් සතුරන් හමුවේ නැති විය. එදා සිංහලයන් වෙතින් ඉංග‍්‍රීසින් උඩරට කොල්ලකා තම පාලනයට යටත් කළ විට
සිංහල රජෙකු තමනට නැතිවූ වග රට වැසියන් කාටත් දැනෙන්නට ඇත.

ඇහැළේපොළ වැනි ජනකාන්ත නායකයෙකු නිරපරාදීව සිරභාරයේ තබාගෙන මේ සටන ගෙනයා නොහැකියි සිතූ ඉංග‍්‍රීසීහු 1818 මාර්තු 3 වැනිදා (උඩරට ගිවිසුම අත්සන්කර වසර තුනකට පසු) ඇහැළේපොළ සිරභාරයට ගෙන කොළඹ රඳවා තැබූහ. ඉන් අවුරුදු 7කට පසු එනම් 1825දී ඔහු මුරුසි දිවයිනට පිටුවහල්කර යැවීමත් ඉන්  අනතුරුව අවුරුදු හතරකට පසු ඔහු එම දිවයිනේම සිරකරුවකු වශයෙන් අවසන් හුස්ම හෙළීමත් මෙරට ජාතික නිදහස් සටන් පිළිබඳ ඉතිහාසයේ අවාසනාවන්ත සිද්ධියකි. කිසිම රාජද්‍රෝහී ක‍්‍රියාවකට සම්බන්ධ නොවූ තමන් නිරපරාදේ හිරේ තබා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි ඇහැළේපොළ ඉංග‍්‍රීසීන්ගෙන් වරින් වර ලිපි මගින් මතුකළ ප‍්‍රශ්නවලට ඉංග‍්‍රීසීන් නිහඬව සිටියා මිස කිසි දිනක උත්තර දුන්නේ නැත.

ඉංග‍්‍රීසීන් අපට උගන්වා ඇති ඉතිහාස පාඩම් අනුව නම් ඇහැළේපොළ ද්‍රෝහියෙකි. ඒ ඉංග‍්‍රීසින්ට ඔහු පක්‍ෂපාතී නොවූ නිසාය. එහෙත් ඇහැළේපොළ ජාතිය හා රට වෙනුවෙන් සකස්කළ අභීත සිංහලයෙකි. ඔහු පිළිබඳ ඉතිහාසය කවදා හෝ නිවැරදි විය යුතුය.

Memorial Foundation

songs banner-011

getsinhala