අලුත් අවුරුදු මංගල්ලේ

අලුත් අවුරුද්ද යනුවෙන් අප අදහස් කරන්නේ කාලය බෙදා වෙන් කර ගැනීමෙන් අනතුරු ව එක් නියමිත කාලයක අවසානය හා ආරම්භය සනිටුහන් කර ගැනීමයි.  වර්තමාන ලෝක ව්‍යවහරය අනුව අප එය සිදු කරන්නේ දින තිහකින් පිරි මාසයක් දොළොස් වතාවක් පසු කළ පසු එළඹෙන අවසානය හා ඊළඟ ආරම්භය වර්ෂයක අවසානය හා අලුත් අවුරුද්දක ආරම්භය වශයෙන් සැලකීමෙනි.  මෙසේ මිනිසා කාලය මැන ගැනීමේ ක‍්‍රමය ආරම්භ කළේ බොහෝ කාලයකට පෙර සිට ය.

අවුරුද්ද යනු කාලය මැන ගැනීම සම්බන්ධ කටයුත්තක් බව කියූ බැවින් ඒ හා සම්බන්ධව පුරාණ ලෝකයේ අනුගමනය කළ ක‍්‍රම හා විධි කුමන ආකාරයෙන් පවතී දැ යි සොයා බැලීම වැදගත් ය.  අපට වාර්තා වන ආකාරයට ඉන් එක් ක‍්‍රමයක් වූයේ ලොව ග‍්‍රහවස්තු චලනය වීම ගැන කරුණු පිරික්සීමයි.  එය තවත් ලෙසකින් පවසතොත් ග‍්‍රහමාරු සිදුවන ආකාරය පිළිබඳ ව කරුණු අධ්‍යයනය කිරීමයි.  මිනිසාට දවස මැන ගැනීමට උපකාරී වූ එක් ක‍්‍රමයක් වූයේ සූර්ය උදාව හා බැස යෑමයි.  අහසේ පාවෙන තාරකා දෙස බැලීමෙන් රාතී‍්‍ර කාලය මැන ගැනීමට උපකාරී වූයේ චන්ද්‍රයා ගේ ගමනයි.  පුර පක්ෂය හා අව පක්ෂය වශයෙන් මාසය කොටස් දෙකකට බෙදා වෙන් කළහ.  මේ අනුව චන්ද්‍ර මාසය කොටස් හතරකට බෙදා වෙන් කළහ.  ඔවුන් මාසය නම් කෙළේ පුර අටවක පසළොස්වක, අව අටවක හා අමාවක වශයෙනි.  කාලය මැන ගැනීම පිණිස භාවිත වූ වෙනත් ක‍්‍රම ද හිඟ නොවීය.  පියවර මැන වේලාව නිගමනය කිරීම එක් ක‍්‍රමයකි.  එය සූර්යයාගේ ගමන හා මිනිස් හෙවණැල්ල සම්බන්ධ වූ ක‍්‍රමයකි.  ඔරලෝසුව සුලභ ව භාවිතා නොවූ මින් අවුරුදු පනහක පමණ පෙර කාලවල දී මෙරට භික්ෂුන් වහන්සේ අනුගමනය කෙළේ ද පියවර මැනීමේ ක‍්‍රමයයි.

චන්ද්‍රමාස ක‍්‍රමය අනුව බලන කල මාසයකට දින විසි අටේ සිට තිහ දක්වා කාලයක් අයත් වූ අතර, උතුරු ඉන්දියාවේ චන්ද්‍ර මාසය ආරම්භ වූයේ පුණු පොහෝ දිනය පසු වූ අව පෑලවියෙනි.  මේ ක‍්‍රමය පූර්ණමාන්ත යන නමින් ද හැඳින්විණි.  චන්ද්‍රයා ස්වකීය මාසික ගමනේ දී නක්ෂත‍්‍ර විසි හතක් පසු කර යයි.  එබැවින් චන්ද්‍ර මාස ක‍්‍රමය අනුව එයට නැකත් විසි හතක් අයත් වන බව අපි දනිමු.  තිථි වශයෙන් ගතහොත් එයට තිථි විසිනවයක් හෝ තිහක් ඇත.  දකුණු ඉන්දියාවේත්, එසේ ම ලක්දිවත් පෙර පැවති චාරිත‍්‍රය අනුව චන්ද්‍ර මාසය ආරම්භ වූයේ අමාවක් දිනය පසූ වූ පුර පෑලවියෙන් බව ද සැලකිල්ලට ගත යුතු ය.  එය උතුරු ඉන්දියාවේ ක‍්‍රමයට වෙනස් වූ අතර එය හැඳින්වූයේ අමාන්ත ක‍්‍රමය බව ආචාර්ය ගොඩකුඹුරේ මහතා අපට පෙන්වා දී ඇත.

නව සඳ බැලීම

අවුරුද්ද ආරම්භ වන්නේ බක් මස පුර පෑලවියෙනි.  මේ ප‍්‍රථම මාසය හැඳින් වූයේ බක් යන නමිනි.  එය භග යනුවෙන් ද නම් විණි.  එතැනින් ආරම්භ වන්නාවූ අවුරුද්දේ සමහර මාස නම් ගත්තේ නැකත් අනුව ය.  මෙසේ ගත්තා වූ නම් අතර වෛශාඛ නැකත අනුව වෙසක් යන වචනයත් ආෂාඪ යන නාමය අනුව ඇසළ යන නමත් මාස හැඳින්වීම සඳහා පුරාණයේ සිට භාවිත විණි.  බක් මාසයට හිමි වූ නැකත වූයේ චෛත‍්‍ර යන්නයි.  එය සිංහලයෙන් භාවිත වූයේ සිත නැකත යනුවෙනි.  අලුත් අවුරුද්දේ ප‍්‍රථම චාරිත‍්‍රය සඳ බැලීම වූයේත් හි ඇති වැදගත්කම නිසා ය.  නව වැනි දහවැනි සියවස්වලට අයත් සමහර සිංහල ලේඛනවල බක් මාසය හඳුන්වා ඇත්තේ ද බගසන්ද කියා ය.  අලුත් අවුරුද්දට නව සඳ බැලීම ආරම්භ වූයේ කෙසේ දැයි ස්ථිර ව කිව නො හැකි ය.  එසේ වූවත් බන් නව සඳ බැලීම පුරාණයේ සිට සිංහල රටේ පැවැති චාරිත‍්‍රයකි.  එයින් අදහස් වන්නේ චන්ද්‍ර මාස ක‍්‍රමය පුරාණයේ සිට ලක්දිව ව්‍යවහර වූ කාලය මැනීමේ එක් ක‍්‍රමයක් වූ බවයි.

පැරැණි ලක්දිව පැවැති ජ්‍යොතිෂය හා නැකත් ක‍්‍රමය ශුභ කරුණු පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ රජමාලිගය හා සම්බන්ධ නිලධාරීන් අතර මේ කටයුත්ත සඳහා ම පත් වූ පිරිසක් සිටි බව ය.  මහ නැකතිනා සංවත්සරික නායක, ගණන නායක හා ගණිතයා යනු එබඳු නම් කිහිපයකි.  අලුත් අවුරුද්ද මෙන් ම වෙනත් ශුභ කටයුතු සඳහා නැකත් බැලීම හා නියම කිරීමේ චාරිත‍්‍රය පැවරී තිබුණේ මොහුට ය.  ව්‍යවහර වර්ෂ 2009 සඳහා සංවත්සර පත‍්‍රය ප‍්‍රකාශයට පත්ව ඇති අයුරින් අතීතයේ එය කෙබඳු ආකාරයකින් පවත්වන්නට ඇත්දැයි සිතීමට මේ වසරේ සංවත්සර පත‍්‍රය පහත දක්වමි.

නැකත් අනුගමනය

මේ සංවත්සර පත‍්‍රය අනුව ගණන් බලා පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද යන දෙකට ගැළපෙන නැකත් හෝරා අනුව චාරිත‍්‍ර විධි පැවැත්වීමට නක්ෂත‍්‍රකරුවෝ නියම කරති.  එහි පළමු චාරිත‍්‍රය නව සඳ බැලීමයි.   පරණ අවුරුද්ද සඳහා මාර්තු 30 වෙනි සඳුදා දින ද අභිනව සූර්ය වංශය සඳහා අපේ‍්‍රල් 20 වෙනි සඳුදා දින ද නියම කර ඇත.  පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ දිනය අපේ‍්‍රල් 11ට නියම කර ඇති අතර නව වර්ෂය සඳහා අපේ‍්‍රල් 15 වෙනි සඳුදා නියම කර ඇත.  අලුත් අවුරුදු උදාව දක්වා ඇත්තේ අපේ‍්‍රල් 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 00.47 ට ය.  ආහාර පිසීම 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 5.05 ට ය.  වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම අපේ‍්‍රල් 14 වෙනිදා පූර්ව භාග 5.50 ට ය.  සංක‍්‍රාන්ති කාලය වශයෙන් දක්වා ඇත්තේ අපේ‍්‍රල් 13 වෙනි සඳුදා අපරභාග 6.23 සිට පසුදින පූර්ව භාග 8.11 දක්වා ය.  රැුකීරක්ෂා සඳහා පිටත්ව යාම යෙදී ඇත්තේ අපේ‍්‍රල් 20 වෙනි සඳුදා ට ය.  මෙවර වස්ත‍්‍රාභරණ සඳහා නියම කර ඇත්තේ මුතු පැහැයයි.  මේ වැඩසටහනට අනුව සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර පැවැත්වීම සඳහා අඩුම වශයෙන් සතියක් ගත වන බව පෙනේ.

අප දන්නා පරිදි පුරාණ කාලයේ සිංහල අලුත් අවුරුද්ද කියා උත්සවයක් පැවතුණේ නැත.  සිංහල අලුත් අවුරුද්ද යයි නම් ලබා ඇති මේ උත්සවය සිංහල ජාතියේ උපත තෙක් අතීතයට යන්නක් නොවන බව ද පෙනේ.  ජාති මාමකත්වයෙන් පෙළෙන අයට නම් සිංහල අලුත් අවුරුද්ද යනු සිංහල ජාතියේ උපත ලැබූ දා සිට පැවත එන ආර්ය උත්සවයකි.  මෙවැනි අදහස් දරන්නවුන් අතර උගතුන් ද සිටින බව පෙනී යයි.  ඒ අය එසේ කරුණු දක්වන්නේ දැනගෙන නො ව ජාතික කැක්කුම නිසා ඉවසා ගන්නට බැරි වේදනාවෙනි.  එසේ නම් සිංහලයන් අතර පුරාණයේ දී කාලය මැන ගැනීම පිණිස තිබූ ක‍්‍රමය කුමක් දැ යි සොයා බැලීමට සිදු වේ.  ඉතිහාසයෙන් අපට ලැබෙන තොරතුරු අනුව පුරාණයේ දී කාල නිර්ණය සඳහා ක‍්‍රම තුනක් පැවති බව පෙනේ.  එක් ක‍්‍රමයක් වූයේ රාජවර්ෂ දැක්වීමේ දී අදාළ රජු ගේ රාජ පදවි ප‍්‍රාප්ත වර්ෂය දැක්වීම ය.  කි‍්‍රස්තු වර්ෂ තුන්වන සියවසට අයත් ලිපියක  ර්‍ණසිරිනක මහ රජහ වන ලගිතක බගවද අවමස” යන වැකිය දැක ගත හැකි ය.  ඒ අනුව සිරිනාග රජු රාජපදප‍්‍රාප්ත වූ සිව්වැනි සියවසේ බක්මාසය ගැන කියැවේ.  දෙවන ක‍්‍රමය නම් චන්ද්‍රවර්ෂ ක‍්‍රමයට කාලය දැක්වීමයි.  සහාසමල්ල රජු ගේ ලිපියක එන තොරතුරු අනුව දොළොස්වැනි සියවසේ දී පවා චන්ද්‍රමාස ක‍්‍රමය භාවිතයේ වූ බවට තොරතුරු හමුවේ.  ඒත් සමඟ ම බුද්ධ වර්ෂය සඳහන් කිරීම නිසා චන්ද්‍රවාස ක‍්‍රමය මෙන් බුද්ධ වර්ෂ ක‍්‍රමය ද අපේ රටේ ලිතට ඇතුළත් වූ බව පෙනේ.   ර්‍ණබුද්ධ වර්ෂ එක්දහස් සත්සිය තෙසාලිස් අවුරුදු තුන් මස් සත් විසි දවසක් ගිය තෙනැ බිනෙර පුර දොළොස්වක් ලද බදා දවස්” යයි එහි සඳහන් වේ.  මෙය ව්‍යවහර වර්ෂ ක‍්‍රමයෙන් ගණන් බැලූ කල කි‍්‍ර.ව. 1200ක් වූ අගෝස්තු මස 23 වැනි බදාදා යි.

බුද්ධ වර්ෂය සඳහන් වන ලක්දිව ප‍්‍රථම ලිපිය හමුවන්නේ කි‍්‍ර.ව. හතර වන සියවසේ දී ය.  බුද්ධදාස රජුගේ පුත‍්‍ර උපතිස්ස රජු ගේ අට විසිවන වර්ෂයට හෙවත්  ර්‍ණසම්බුද්ධ පරිනිර්වාණයෙන් නවසිය හතළිස් එක් අවුරුද්ද වූ දුරුතු අමාවක් ලත් කුජදින” ගැන එහි සඳහන් වේ.  ඒ අනුව රාජ වර්ෂය මෙන් ම බුද්ධ වර්ෂය ද සඳහන් වන්නේ වර්තමානයේ දී ව්‍යවහර කි‍්‍රස්තු වර්ෂය මෙන් ම ශක වර්ෂය ද එකවර භාවිත කරන සිරිත පරිදි ය. උපතිස්ස රජු ගේ ලිපියේ සඳහන් දින වකවානු සලකා බැලූ විට එය කි‍්‍ර.ව. 396 දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා බව අවබෝධ වේ.  පුරාණ දඹදිව ද චන්ද්‍ර මාස නැකත් ක‍්‍රමය භාවිතයේ පැවැතිය ද කි‍්‍ර.ව. 78දී ශක වර්ෂ ක‍්‍රමය ව්‍යවහරයට පැමිණි බව පෙනේ.  වර්තමානයේ භාවිත වන කි‍්‍රස්තු වර්ෂ ක‍්‍රමය වූවත් කාලයා ගේ ඇවෑමෙන් විවිධ වෙනස්කම්වලට භාජන වූ බව පෙනේ.  වර්තමාන ලෝකයේ ප‍්‍රචලිත අලුත් අවුරුදු දිනය ජනවාරි 1 වැනිදා වශයෙන් සැලකුණ ද එය නියම කෙළේ කි‍්‍රස්තු පූර්ව 1 වන සියවසේ රෝම අධිරාජ ජූලියස් සීසර් ය.  මුල් අවදියේ දී අවුරුද්ද වශයෙන් සැලැකුවේ මාර්තු 2 වැනිදා ය.  එංගලන්තයේ එය දෙසැම්බර් 25 වැනිදා වශයෙන් භාවිත ව තිබී පසු ව, ජනවාරි පළමුවැනිදා වශයෙන් සලකන්නට වූයේ කි‍්‍ර.ව. 1751න් පසු ව ය.  ව්‍යවහර වර්ෂ ක‍්‍රමයේ මෙවැනි ම වෙනස්කම් ලක්දිව ද සිදුවිී ඇති බව කල්පනා කළ යුතුය.

ශක වර්ෂ ක‍්‍රමය

සිංහල අලුත් අවුරුද්ද වශයෙන් අප දැන් සලකන්නේ ශක වර්ෂ ක‍්‍රමය වෙත් සූර්ය මාස ක‍්‍රමය අනුව සකස් කර ගත් ලිත් ක‍්‍රමයකි.  මේ අනුව අලුත් අවුරුද්ද වූ කලී සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාව ය.  පොසොන් වැනි පුරාණ ලංකාවේ උත්සව පිළියෙල වූයේ චන්ද්‍ර මාස ක‍්‍රමය අනුව ය.  එබැවින් ශක වර්ෂ ක‍්‍රමය භාවිතයට ගැනීමට පෙර උතුරු ඉන්දියාවේ මෙන් ලක්දිව සිංහල ජනයා ද තමන් ගේ ලිත සකස් කර ගෙන ඇත්තේ චන්ද්‍රයාගේ ගමන මුල් කරගෙන මිස සූර්යයා මුල් කරගෙන නො වේ.  එය එසේ නම් වර්තමාන සිංහල අවුරුද්දට පාදක වූ සූර්ය ලිත් ක‍්‍රමය හෙවත් ශක වර්ෂ ක‍්‍රමය භාවිතයට පැමිණියේ කවදා දැ යි සොයා බැලීමට අපට සිදු වේ.  දැන් එයට කාලය යි.

චන්ද්‍ර මාස ක‍්‍රමය පාදක කර ගනිමින් මෙහි ව්‍යවහර වූ ලිත් ක‍්‍රමයේ සමහර චාරිත‍්‍ර මෑත කාලය තෙක් නොනැසී ආරක්ෂා වීමට එහි ප‍්‍රබල භාවිතයට කදිම නිදසුනෙකි.  බක් මාසයේ නව සඳ හෙවත් නව බගසන්ද් බැලීම වාසනාවක් කොට සීගිරි කවීන් පවා සැලැකූ අන්දම ගැන සිතන්නට තුඩු දෙන කවක් අපට හමු වෙයි.  අලුත් අවුරුද්දට සඳ බැලීමේ චාරිත‍්‍රය ශේෂ ව පවතීයි.  පරණ අවුරුද්දට හා අලුත් අවුරුද්දට යයි සඳ බැලීම දෙවරක් නියම කිරීම චන්ද්‍ර හා සූර්ය මාස ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් සිදු වූවකි.

ශක වර්ෂ ක‍්‍රමය සිංහල සමාජය තුළ ව්‍යවහරයට පැමිණියේ දහ හතර වන සියවසේ දී තරම යයි සිතන්නට තුඩු දෙන සාධක සාහිත්‍යයෙන් මෙන් ම සෙල්ලිපියකින් ද ඉස්මතු වේ.  දහහතර වන සියවසේ ලියැවුණු දළඳා සිරිතේ එන  ර්‍ණසකවසින් 1247 වැන්න” සමහර වර්ෂ එහි ආදී සඳහන විය හැකි ය.  එසේ නොමැති නම් පසු ව පිටපත් කළ වුන් ඒ දිනය එකතු කළා ද විය හැකි ය.  එහිලා යම් සැකයක් ඇති වීම සිදු විය හැකි වූවත්, ඒ සියවසට ම අයත් ගඩලාදෙණියේ සෙල්ලිපියේ එන  ර්‍ණශී‍්‍ර ශකවර්ෂයෙන් එක්වා දහස් දෙසිය සසැට අවුරුද්දක් පිරුණු...” යන වාක්‍යයේ එන ශකවර්ෂ දැක්වීම ඉවතලිය නො හැකි ය.  මෙයින් මනා ව පැහැදිලි වනුනේ සූර්ය වර්ෂය සම්බන්ධ වූ ශක වර්ෂ ක‍්‍රමය සිංහල ජනයා අතර දහහතර වන සියවස වන විට භාවිතයේ පැවැති බව යි.  දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩ නැඟුණු ගඩලාදෙණි විහාරයේ ශක වර්ෂය ගැන එන මේ සඳහනින් ම පෙනී යන්නේ ගෘහ නිර්මාණ ශිල්පය මෙන් ම භාවිතයට පැමිණ ශක වර්ෂ ලිත් ක‍්‍රමයක් අපට මේ කාලයේ දී දකුණු ඉන්දීය දමිල සංස්කෘතිය හරහා ලැබුණු බව යි.

හින්දු දේවාල පසුබිම

මේ දකුණු ඉන්දීය සංස්කෘතිය ආභාසය ඉන් අනතුරුව උදා වූ කෝට්ටේ යුගයේ දී ද තවත් ප‍්‍රබල වී ව්‍යාප්ත වී ගිය සැටි බලියාගය, කංකාරිය ආදී යාත‍්‍රා කර්මවලින් දැක ගත හැකි වන අතර, හින්දු සංස්කෘතික අංග රාශියක් ම තව දුරටත් සිංහල සමාජය වෙත පිවිසියේ ය.  දහසය වැනි සියවසේ කන්ද උඩරට රාජධානිය ආරම්භ වී දකුණු ඉන්දීය රජවරු මදුරාපුර රාජාවලියක් මහනුවර ස්ථාපනය කිරීමත් සමඟ දකුණු ඉන්දීය චාරිත‍්‍ර වාරිත‍්‍ර හා ඇදහිලි විශ්වාස ද රාජ අනුග‍්‍රහය ලබමින් ව්‍යාප්ත වන්නට වූ වග දැක්ක හැකි ය.  එදවස රජමාලිගෙයි අනුග‍්‍රහය ලබමින් උඩරට ප‍්‍රධාන මංගල්ල සතරක් පැවති බවට කරුණු ඇත.  ඒවා නම් ජනවාරි මාසේ අලුත් සාල් මංගල්ලේ, බක් මාසේ අවුරුදු මංගල්ලේ හා ඇසළ මාස පෙරහර මංගල්ලේ හා ඉල්මාසයේ කාර්තික මංගල්ලේ යන සතරයි.  මේ මංගල්ල සතරට ම ඇත්තේ හින්දු දේවාල පසුබිමකි.  අලුත්සාල් මංගල්ලේ සම වන්නේ තෛපොන්ගල් උත්සවයට යි.  අවුරුද්ද යනු සූර්ය සංක‍්‍රාන්තිය යි.  ඇසළ පෙරහර යනු දෙවියන් උදෙසා පවත්වන පෙරහර මංගල්ලය යි.  කාර්කෙය මංගල්ලේ යනු කාර්තික දෙවියන් උදෙසා පවත්වන පහන් පූජාවයි.  මේ හින්දු චාරිත‍්‍ර හතර ම රජ වාසල ඇසුරු කරමින් මහනුවර දළඳා මාලිගෙය තුළට ද පිවිස අද දක්වා ම පැවැත්වෙයි.  මේ අතරින් එදා මහවාසල දකුණු ඉන්දීය රජවරුන් ගේ අනුග‍්‍රහය ලබමින් පැවැති අවුරුදු චාරිත‍්‍ර සිංහල අවුරුදු චාරිත‍්‍ර වශයෙන් ද සැලැකුණේ හින්දු පසුබිම, නොසලකා ය.  හින්දු සංස්කෘතික චාරිත‍්‍රයක් වශයෙන් වැලඳගත් අවුරුදු චාරිත‍්‍ර එවක් පටන් සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර වශයෙන් ජන සමාජයේ පිළිගැනීමට පාත‍්‍ර වූයේ ය.

එදා මහනුවර රජවාසලේ පැවැති අලුත් අවුරුදු චාරිත‍්‍ර අද දින වූවත් සිංහල සමාජයේ පවත්වන සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍රවලින් වෙනස් වූයේ සඳ බැලීමේ චාරිත‍්‍රය අනුගමනය නොකිරීමෙන් පමණකි.  ඒ වෙනුවට බෙහෙත් යුෂ යොදා පිළියෙල කරගත් නානු සමඟ ස්නානය කිරීමේ හා පිරිසිදු වීමේ චාරිත‍්‍රය වැදගත් තැනක් ගත්තේ ය.  අද දින පවා දෙමළ ජනයා පවත්වන හින්දු අලුත් අවුරුදු චාරිත‍්‍ර සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර සමග සසඳා බැලීමෙන් පැහැදිලි වන්නේ සිංහලයන් වශයෙන් අප අනුගමනය කරන්නේ දකුණු ඉන්දියාවේ දෙමළ හින්දු ජනයා පවත්වන චාරිත‍්‍ර වාරිත‍්‍ර බව යි.  මෙකී හින්දු චාරිත‍්‍ර මොනවා දැ යි විමසා බැලීම කාලෝචිත ය.  සියල්ල සිදුවන්නේ පංචාංග ලිතට අනුව ය.  සිංහලයන්ට ද එය පොදු ය.  සියල්ලට පාදක වන්නේ ශුභ නැකැත් ය.   ර්‍ණපුදු වරුෂම්” යන දෙමළ බසින් ව්‍යවහර වන අලුත් අවුරුද්ද තවත් නමකින් හඳුන්වා දෙන්නේ නම් එය  ර්‍ණචිත්තිරෙයි වරුදස් පිරප්පු” යන ව්‍යවහරය යි.  ඒ නාමය ලබන්නේ බක් හෙවත් දෙමළ චිත්තර හෙවත් සිංහල සිත නැකත සිහිපත් කරමිනි.  එය බක් මසට හිමි නැකතයි.

කාලදේවන්

එළැඹෙන සෑම වසරක ම අපේ‍්‍රල් මස 13 වැනි හෝ 14 වැනි දිනට යෙදෙන අලුත් අවුරුදු සූර්ය සංක‍්‍රාන්තියේ ප‍්‍රධාන තැනක් ගන්නේ බක් මාසේ අසිරිය යි.  ගොයම් කපා පාගා අටු කොටු පුරවාගෙන විවේක සුවයෙන් ගත කරන මේ මාසයේ අවට පරිසරය මලින් පලින් බර වූ භාග්‍යවන්ත වූ කාලයකි.  මෙය හින්දුන් සලකන්නේ විෂ්ණු පුණ්‍ය කාලය වශයෙනි.  ඒ බව සංවත්සර පත‍්‍රයෙන් ද හෙළි වේ.  දින හතක් පුරා පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයේ දී සූර්ය දිව්‍ය රාජයා පොළොවට වඩින්නේ, අසුන් සත් දෙනකු බැඳි රියකිනි.  ඔහු මෙහි දී හඳුන්වන්නේ කාලදේවන් හෙවත් කාලයට අධිපති දෙවියා වශයෙනි.

අලුත් අවුරුදු දිනයේ සිදුවන වැදගත් ම චාරිත‍්‍රය නම් ෙඖෂධ මිශ‍්‍ර නානුවලින් හිස සෝදා ස්නානය කොට පිරිසිදු වී අලුත් අවුරුද්දට නියමිත වර්ණයෙන් යුතු වස්තු පැළඳ ගැනීම යි.  ගොම මැටි ගා අලුත් කල නිවස තුළ ගණ දෙවියන් ගේ ආරක්ෂාව පතා මල් පහන් පූජා කිරීම ද සිරිතකි.  ගේ දොර අඹ කොළ හතකින් ආරක්ෂා කිරීම ද බුලත් පුවක් පිරි තට්ටුවලින් හා පළතුරු වට්ටියෙන් අලංකාර කිරීම ද ජලය පිරි කලසක් ගෙ මිදුලට ගෙන ඒම ද සිදුවේ.  අලුත් අවුරුදු චාරිත‍්‍ර ආරම්භ වන්නේ ඉන් පසු ව ය.  එහිලා ප‍්‍රධාන තැනක් ගන්නේ නැකතට ලිප ගිනි මෙළවීම යි.  කිරි බතක් පිළියෙල කර ගන්නා ඔවුහු අනතුරුව එළැඹෙන ශුභ නැකතින් එය අනුභව කරති.  ගෘහ මූලිකයාට ප‍්‍රධාන තැනක් ලැබෙන මේ අවස්ථාවට පවුලේ සියලු දෙනා සහභාගී වෙති.  මින් අනතුරු ව එළැඹෙන්නේ ගනු දෙනු කිරීමේ නැකත යි.  මෙය  ර්‍ණකෛයි විශේෂම්” යනුවෙන් හැඳින්වෙන චාරිත‍්‍රයකි.  ගෙයි ප‍්‍රධානිය මුල් කරගෙන තෑගි භෝග හුවමාරු කර ගැනීමට මේ අවස්ථාවක් වේ.  ගනු දෙනු කිරීම හා තෑගි බෝග හුවමාරුව අලුත් අවුරුද්දේ සිදුවන වැදගත් කාර්යයකි.  මේ සියල්ල ශුභ නැකතින් සිදුවූවාට පසු දේවාලයට ගොස් දෙවියන් පුදා අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීම හින්දුන් ගේ තවත් චාරිත‍්‍රයකි.  එහි දී දුගී මගී යාචකාදීන්ට තුටු පඩුරු දීමත් සිදුවේ.

අලුත් අවුරුද්දේ වැඩ පළ සඳහා පිටත් ව යෑමත් සිදුවන්නේ නැකතට ය.  අලුත් අවුරුදු සමයේ පාරම්පරික කෙළි සෙල්ලම්වලට ද තැනක් හිමි වේ.  මෙසේ බලන කල හින්දුන් ගේ සූර්ය මංගල්ලය කෙරෙන් බක්මහ සිත නැකතට යෙදුණ අලුත් අවුරුදු චාරිත‍්‍ර සියල්ල සිංහලයන් අතට පත් වී සිංහල - බෞද්ධ මුහුණු වරක් ලබා ඇත.

ලෝකයේ විවිධ සංස්කෘතීන් දෙස බලන කල පෙනී යන ප‍්‍රධාන කරුණක් නම් කිසි ම සංස්කෘතියක් පිරිසිදු නොවන වග යි.  මේ බව මලිනෝව්ස්කි නමැති මානව විද්‍යාඥයා ද පවසා ඇත.  සිංහල අලුත් අවුරුද්ද වූවත් මේ ලෝක ස්වභාවයෙන් මිදී නැත.  සංස්කෘතීන් මෙන් ම ජාතීන් ගැන ද කිව හැක්කේ එය මැ යි.  එබැවින් ජාතිය යනු මිනිසා වෙන් කොට හඳුන්වන  ර්‍ණලේබලයක්” මිස අන් කිසිවක් නොවේ.  මේ බව හොඳින් දැනගත් අප කළ යුත්තේ සමගියෙන් හා සාමයෙන් එකමුතු ව ජීවත් විම ය.  අප රටේ ජීවත්වන සිංහල හා දෙමළ යන ජන කොටස් දෙකට එක් ව සහජීවනයෙන් ගත කිරීමට අලුත් අවුරුද්ද පිටිවහල් විය යුතු ය.  ඒ ගැන මෙනෙහි කිරීමට සුදුසු ම කාලය බක්මහ අවුරුදු සමය යි.

Memorial Foundation

songs banner-011

getsinhala