මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ 72 වැනි ජන්ම දිනය නිමිත්තෙනි

මහාචාර්ය සෙනෙවිරත්න වරක් සීගිරිය වෙත ගමනක් ගියේය. ඒ සීගිරි සංස්කෘතික වැඩබිම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගි වනු පිණිස ය. එහිදී ඔහු සිය පෞද්ගලික මෝටර් රථය භාවිත කළ අතර, අපේ ගමනාන්තරය සීගිරිය වූ බැවින්, සීගිරි යුගය සම්බන්ධ කරුණු අප අතර කථාබහ වෙමින් පැවතිණි. 
මේ ශාස්ත්‍රීය සාකච්ඡාව ගලා යන අතරතුර, මහැදුරු සෙනෙවිරත්නගේ රථය, ඉන්ධන පිරවුම් හළක් වෙත හැරවිණි. එකෙණෙහි පිරවුම් හළේ සේවකයෙක්, උවමනාවෙන් රිය දෙස බලා මෙසේ විමසීය.

“සර් ඉන්නෙ නුවර හරියෙද?”

“ඔව්. කටුගස්තොට”

“මම දිගට ම සර්ගෙ ප්‍රෝග්‍රෑම් එක බලනවා. සර් අර, සර් හැංගිලා ඉන්න කාමරෙන් එළියට එන්නෙ ම නැද්ද?” යි පිරවුම් හල් සේවකයා අසත් ම, මහැදුරු සෙනෙවිරත්න තුෂ්ණිම්භූත ව “මේ මොන අණ්ඩර දෙමළයක්ද මේ මිනිහ අහන්නෙ?” යි මගෙන් ප්‍රශ්න කළේ ය. මට වහා සිහිපත් වූයේ ඒ යුගයේ, රූපවාහිනි චැනලයක් ඔස්සේ ප්‍රචාරය වෙමින් පැවැති ටෙලි නාට්‍යයකි. එහි ලූෂන් බුලත්සිංහල මහතා, තමාගේ ම නිවසේ පහළ කොටසේ පිහිටි සැඟවුණු කාමරයක සැඟවී සිටින්නකුගේ චරිතයක් මැවූයේ ය.

ලූෂන් බුලත්සිංහල මහතාගේ ස්වරූපය, මහාචාර්ය සෙනෙවිරත්නට බෙහෙවින් සමාන වූ නිසා, පිරවුම්හල් සේවකයා සිතන්නට ඇත්තේ, මේ වනාහි ලූෂන් මහතා කියා ය. මම, මහැදුරු සෙනෙවිරත්නගේ කනට සමීප ව ඒ ටෙලි නාට්‍යය ගැන කීවෙමි. මහාචාර්යතුමා ද, හිස එළියට දමා පිරවුම් හල් සේවකයාට මෙසේ කීවේ ය.

“මම ලඟදි ම එළියට අවිත් අරුන් දෙන්නා බෙල්ලෙන් අල්ලගෙන සෙල්ලම ඉවර කරනවා”

එතැන අරුන් යනුවෙන් එතුමා අදහස් කළේ ඒ නාට්‍යයේ අසම්මත පෙම්වතුන් දෙදෙනකු සේ හැසිරෙන කමල් අද්දරආරච්චි හා සබීතා පෙරේරා පිළිබඳ ව ය. ඒ ආකාරයෙන් අවස්ථාබද්ධ විහිළු තහළු බිණීමෙහි මහැදුරු සෙනෙවිරත්න අතිශයින් සුරුබුහුටි විය.

“මේ සීගිරි පරිසරය දකින කොට, අපි පහුගිය ආත්මෙක මෙහෙ ඉඳල තියනවා වගේ හැඟීමක් තදින් දැනෙනවා” යයි මා කීවේ මහාචාර්ය සෙනෙවිරත්නගේ අදහස් විමසනු රිසියෙනි. “ඒක හරියට හරි. මම බම්බලපිටියෙ එක තැනකින් නාඩි වාක්‍යම් කියන ශාස්ත්‍රයෙන්, මගේ අතීත ආත්මය ගැන තොරතුරු ඇහුවා. එතැනදි කියවුණා, මම, මේ සීගිරි යුගයෙත්, ඊට ආසන්න තව රාජ්‍ය යුගයකත්, සමාජ නායකයෙක් විදිහට ජිවත් වුණා කියලා. මේ සියලු දේවල් නිසා වෙන්න ඇති මගෙ ජීවිතේ වැදගත් අවස්ථාවක්, මේ ප්‍රදේශයේ සමරන්න මම තීරණය කළේ. ඒ කියන්නේ මම විවාහ වෙලා මධු සමය ගත කළේ මේ සීගිරි තානායමේ” යැයි ඒ ස්ථානය පෙන්වමින් මහාචාර්යවරයා, සිය රථය එතැන නතර කිරීමේ හේතුව පැහැදිලි කළේ ය.

සීගිරිය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අනුරාධ සෙනෙවිරත්න මහතා ”The Story of sigiri” නම් කෘතිය කියවද්දී, පරණවිතාන විස්තර කරන සීගිරි සංකල්පයේ අතීතය ප්‍රමාණවත් අදහසක් නොදෙන බව ද අවධාරණය කළේ ය. සීගිරිය හුදෙක් කාශ්‍යප රජුට පමණක් තනිව නිර්මාණය කළ නොහැක්කකි’යි තමා විශ්වාස කරන බවත් ඒත් එහි ප්‍රාග් ඉතිහාසය සනාථ කිරීමට, ජනප්‍රවාද හැර වෙනත් පුරා විද්‍යාත්මක සාක්ෂි නැතැයි ද කීවේ ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ සෙනෙවිරත්න මහතා කළ ශාස්ත්‍රීය සේවය පිළිබඳ ම විසින් මින් පෙර ද ලිපි කිහිපයක විස්තර කරන ලදී. එතුමා සිය ජීවිතයේ අවසන් දින කීපය ගත කරද්දී එතුමා වෙත නිතර එළඹීමටත් සුව දුක් විමසීමටත් මට අවස්ථා ලැබිණ. එතුමා සිය කහල්ලේ “භාගීරථි” නම් වූ සිය නිවසේ විසූ අවසාන දින කීපයේදී, වරක් සිය සයනය අසලට මා කැඳවීය.

“සාලිය මේක බලලා ඔයාගෙ අදහස් මට කියන්නැ”යි ඉල්ලමින් එතුමා 2006 දී ප්‍රකාශ වූ ඥාන දර්ශන නම් ග්‍රන්ථයේ 258 වන පිටුව පෙරළා එහි වූ, එතුමා ලියූ “හමුවීම හා වෙන්වීම” නම් වූ පද්‍යයක් පෙන්වීය. මේ ලිපිය ඒ පද්‍යය සමග නිමා කරමි. මහැදුරු සෙනෙවිරත්න සිය ජීවිත චාරිකාව ඒ පද්‍යයේ ඉඟි කරන, ජීවිත සමාධියෙහි ගිල්වා සමුගන්නට ඇත.


“අඳුරු වලාකුළු - ලොව ම වෙළා ගත්
අමාවක පෝ දිනේ - මතකයි තවමත්
ඔබ දුටු සොඳුරු දිනේ
නිසංසල බෝ මළුවේ - සීතල පොද වරුසාවේ
දැවී නිවී යන පහන් සිලක් හමු වේ
මල’සුන වැතිරී බොඳ වී මිය යන
දහසක් මල් දෙස බලා හිඳිද්දී
තවමත් මතකයි
අමාවක පෝ දිනෙ - ඔබ දුටු සොඳුරු දිනේ
ගණ අඳුර දුරලා - ඔබ නෙත් දැල්වූ
නිල්මිණි පහන්සිලේ - ආලෝකය දකිමින්
ජීවිත සමාධියේ - ඔබේ නෙත්මිණි කැළුම් දියේ
මහද ගිලී ගියේ!


ආචාර්ය සාලිය කුලරත්න

 

Memorial Foundation

songs banner-011

getsinhala