මම දැන් හැම දෙයක් ම අතහැරපු නිදහස් තෘප්තිමත් පුද්ගලයෙක්

BY: Silumina

vanaspathiඑදා පැටිවියේදී ඊරියගම සුබෝධාරාමයේ වැලිපිල්ලේ අකුරු කරද්දී හෝ යොවුන් අවධියේදී පියාණන් ද කැටි ව ගුණපාල මලලසේකර වියතුන් දකින්නට යද්දී හෝ මතු යම් දවසක රටේ ප‍්‍රමුඛතම මහැදුරකු බවට තමා පත්වනු ඇතැයි මෙතුමා නොසිතන්නට ඇත. එහෙත් දශක හතක් ඉක්ම ගිය තැන, සිය ජීවන චාරිකාවේ ප‍්‍රමෝදජනක මෙන් ම ශෝකජනක මතක අප හා සමඟ බෙදා හදා ගනිද්දී මෙබඳු උස්බිමක් වෙත සම්ප‍්‍රාප්ත වීමට තමාට පිටුබලය දුන් ශක්ති ප‍්‍රවාහයන් කවරේදැයි මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයෝ අපට මෙසේ කියා පෑවෝ ය. 

‘මගෙ ජීවිතේට ලොකුම බලපෑමක් කළ චරිතය තමා අපේ පියතුමා. මුල් කාලයේ පියා ගුරුවරයෙක්. පස්සෙ ගුරු වෘත්තියෙන් අයින්වෙලා පිටරටවල්වල සංචාරයේ යෙදුණා. රටරටවලට ඇවිදින්න එතුමාට තිබුණෙ පුදුම ආසාවක්.

නිදහසේ ජීවත් වෙන්න ඕනැය කියලා ටික කාලෙකට පස්සෙ වෙළඳ්‍රමක් පටන් ගත්තා. ඒක හරිගියේ නැහැ. පවුලෙ එකම පිරිමියා මම. සහෝදරියො තුන්දෙනයි. මම ඉපදිලා තියෙන්නෙ නිවුන් සහෝදරියකුත් එක්ක. වයස අවුරුදු හතරෙදි තමයි පියා මාව ගමේ පන්සලට එක්කරගෙන ගිහින් වැල්ලෙ අකුරු ලියවලා තියෙන්නෙ. පස්වෙනි පන්තියට යනකම් ගමේ ඉස්කෝලෙට ගියා. මට මතක හැටියට ඒ 1942 වගේ කාලේ.

පාරවල්වත් ගමනාගමන පහසුකම්වත් හරිහැටියට තිබුණෙ නැහැ. කොහොමහරි මට වයස දහය වෙනකොට ඉංගි‍්‍රසි අධ්‍යාපනය ලබාදෙන්න නුවර ධර්මරාජෙට දැම්මා. විශාල ප‍්‍රශ්නයක් වුණා. ගමේදි සරම ඇඳගෙන ඉස්කෝලෙ ගිය මට කලිසන්, සපත්තු, තොප්පි දාගන්ඩ වුණා. ඒ මදිවට හැම වැඩක් ම ඉංගි‍්‍රසියෙන්. කොටින්ම කියනවා නම් සිංහල විතරයි සිංහලෙන් ඉගැන්නුවේ. පාසලේදී වගේ ම ගෙදරදිවත් දැඩි ශික්‍ෂණයක් යටතෙයි මගේ ළමා කාලය ගත කරන්න සිද්ධවුණේ.

අවුරුදු දහයක දොළහක ළමයෙක් වශයෙන් මගෙ ළමා ජීවිතය සම්පූර්ණයෙන් ම විනාශ කළා කියලයි මට හිතුණේ. මගෙ පියා මට සැලකුවේ හිරකාරයෙකුට වගෙයි. අහල පහළ ළමයෙක් එක්කවත් ආශ‍්‍රය කරන්ඩ දුන්නෙ නෑ. හැමදාම පාන්දර පහට අවදි කරනවා පාඩම් කරන්ඩ. පහ පහුවෙලා නිදාගත්තොත් වේවැල් පාර. හැමදාම බුදුන් වැඳලා දෙමව්පියන්ට ගාථා කියලා වඳින්ඩ ඕනෑ. හැම පොතකින් ම පාඩම් ගන්නවා. මාත් ඉතින් ගිරවෙක් වගේ පාඩම් කළා.”

සිය අධ්‍යනාගාරයේ වූ රවුම් මේසය ඉදිරිපිට මා හිඳුවා ගත් මාහාචාර්ය අනුරාධ සෙනවිරත්නයෝ, මට අවැසි තොරතුරු කලින් දැන සිටි කලෙක මෙන් මතක පුරාණයට මා රැගෙන යන්නට වූහ. එතුමාගේ ළමාවියේ අහුමුළු තවදුරටත් හාරාවුස්සා බලනු රිසියෙන් මම මෙබඳු පැනයක් නැඟුවෙමි.”ඔබ තුමාගේ පියා එවැනි දැඩි පිළිවෙතක් අනුගමනය නොකළා නම් මාහාචාර්ය අනුරාධ සෙනවිරත්න කෙනෙක් බිහි නොවෙන්ඩත් ඉඩ තිබුණා නේද?”

ar-11"මගේ අනාගතය ගැන කල්පනා කරලා එහෙම කරන්ඩ ඇති. එහෙම නොකළා නම් මම මේ තත්ත්වයට නොඑන්නත් ඉඩ තිබුණා. කොහොම හරි පියා එයාගේ පරමාර්ථය ඉෂ්ට කරගත්තා. මට අද වුණත් හිතෙන දෙයක් තමා එයා ඕනවටත් වඩා මා කෙරෙහි සැලැකිලිමත් වුණාය කියන එක. හැබැයි අපේ පියාට පුදුමාකාර ඉදිරිදැක්මක් තිබුණු බව නම් කියන්න ඕනෑ.

ඒකට හොඳම සාධකය තමා මාව කලා අධ්‍යාපනයට යොමු කිරීම. ධර්මරාජෙ ඉගෙන ගන්නකාලෙ මට ආසාවක් තිබුණෙ විද්‍යා අධ්‍යාපනය ලබන්න. දවසක් අපේ විද්‍යා පාඩමට ගෙම්බෙක් ගේන්න කීවා. මම ගෙම්බෙක් අල්ලන්ඩ උත්සහ කරනකොට පියා ඇහැව්වා මොකද ඔය කරන්නේ කියලා.

මම කිව්වා ගෙම්බෙක් අල්ලනවා කියලා ඉස්කෝලෙ ගෙනියන්න. ‘මම බෞද්ධ පාසලකට උඹ ඇරියේ පව් වැඩ කරන්න නෙමේ. මම දැන් ලියුමක් දෙනවා හෙට ගෙනිහින් පි‍්‍රන්සිපල්ට දෙන්න ඕනෑ.’ පි‍්‍රන්සිපල් ලියුම බලලා කිව්වා ‘මට කරන්න දෙයක් නැහැ. තාත්තගෙ අවශ්‍යතාව අනුව පාලි - සංස්කෘත ඉගෙන ගන්න කලා අංශයට දාන්න වෙනවා’ කියලා.

මගේ පියා කරපු තවත් වැඩක් තමා ඒ කාලෙම මාව පේරාදෙණිය දෙමළ විද්‍යාලයට ඇතුළු කරපු එක හැන්දෑවරුවෙ දෙමළ ඉගෙනගන්ඩ. ඒ අතරතුර ගමේ පන්සලටත් ඇරියා අමතරව පාලි - සංස්කෘත ඉගෙනගන්ඩ. මේ විදිහට කුඩා කාලයේ සිට ම සිංහල, ඉංගි‍්‍රසි, පාලි, සංස්කෘත, දෙමළ කියන භාෂා හැම ප‍්‍රගුණ කරගන්න අවස්ථාව මට ලැබුණා.

මහැදුරු අනුරාධයන් තරමක අසනීප ගතියකින් පෙළෙමින් සිටිය ද මහත් රුචියකින් සේ ම ඉතා නිරවුල් ව අතීත මතකයන් අවදි කරන සෙයක් මට හැඟිණි. ඊළඟට එතුමා හැඟීම්බර ව විස්තර කළේ සිය පියාණන් විසින් මහාචාර්ය ගුණපාල මලලසේකරයන් හා පරවාහැර වජිරඥාන හිමිපාණන් බැහැ දකින්නට ඔහු රැගෙන යනු ලැබූ අවස්ථාවන් ය.”

දවසක් පියා කිව්වා ‘ඇඳගනින් ගමනක් යන්ඩ’ ය කියල. මගදි බුලත් අතකුත් අරගෙන මාව අඬගහගෙන ගියා මහාචාර්ය මලලසේකර ළඟට. “මම ඔබතුමාට හරි ආදරෙයි. කවදහරි මගෙ පුතාට ඔබතුමා මුණගස්සන්න හිතාගෙන හිටියා. මගෙ පුතත් ඔබතුමාගෙ අඩි පාරේ ගමන් කරනවා නම් මම කැමැතියි. ඒ නිසා පුතාට ආශිර්වාද ලබා ගන්ඩයි අවේ.”

පියා කියපු වචන තාමත් මට මතකයි. මලලසේකර උන්නැහැත් බොහොම කැමැත්තෙන් මට ආශිර්වාද කරලා හොඳට ඉගෙන ගන්නය කියලා අවවාද කළා. ඊළඟ සතියේ ආපහු මාව ලෑස්තිකරගෙන බස් එකේ කොළඹ ගෙනිච්චා. මම කල්පනා කළා කොහෙද මේ එක්ක යන්නෙ කියලා. පරවාහැර වජිරඥාන හාමුදුරුවො ළඟටයි මාව එක්ක ගියේ. එංගලන්තෙන් දෙවෙනි වතාවට ආචාර්ය උපාධියක් අරගෙන ලංකාවට වැඩිය හාමුදුරුවෝ. උන්වහන්සෙගෙනුත් මට ආශිර්වාද ලැබුණා. ඔන්න ඔය විදිහට තමා පියා මාව යායුතු මාර්ගයේ අරන් ගියේ.”

මහාචාර්යතුමා මඳකට නිහඬ විය. මට එතුමාගේ දෑස දෙස බැලුනේ නිරායාසයෙනි. කිසියම් කල්පනාකාරී හැඟීමකින් ඒ දෑස පිරී ඇති සෙයක් මට හැඟිණි. මඳ නිහැඩියාවකින් ඉක්බිති ව මම එතුමාගේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ ව විමසුවෙමි.

උසස් පෙළ දක්වා ම පියතුමාගේ දැඩි බලපෑම ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට එල්ල වූ අයුරු මහැදුරුතුමා පැහැදිලි කළේ ය. ඉන්පසු සරසවියේදී ඔහු තෝරාගත් විෂයයන් වූයේ සිංහල පාලි හා පුරාවිද්‍යාවයි. ඩී.ඊ. හෙට්ටිආරච්චි හා සෙනරත් පරණවිතාන ආචාර්යවරු දෙපළ අනුරාධ සෙනවිරත්න නමැති විද්‍යාර්ථයාගේ කුසලතා ඉක්මනින්ම හඳුනා ගත්හ.

ඔවුන්ගේ ශාස්තී‍්‍රය වැඩකටයුතු වලට අනුරාධ සිසුවා ද සම්බන්ධකර ගැනිණි. මහාචාර්ය අනුරාධ මේ ආචාර්යවරුන්ගේ ඇසුර හඳුන්වන්නේ දෙවෝපගත සිදුවීමක් ලෙසිනි. ඒ ඇදුරන්ගේ ආභාසය ලබමින් අනුරාධ සිසුවා අධ්‍යාපන හිනිපෙතේ පියවරෙන් පියවර ඉහළට යන්නට විය. නමුත් ඔහුට අත්වැලක් වූ දෙවයම විටින් විට ඔහුගේ ගමන්මග හරස්කොට හිටගත්තේ ය.

පියාණන් දරුණු ලෙස රෝගාතුරවීම මීට ප‍්‍රධාන හේතුව වූයේ ය. කෙසේ වුවත් අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල් කර නොගැනීමට තදින් අදිටන් කරගත් අනුරාධ සෙනවිරත්නයෝ ගෞරව උපාධිය දිනාගෙන පේරාදෙණිය සරසවියේ ම තාවකාලික ඇදුරු තනතුරක් ලබා ගත්තේ ය. ටික කලකට පසුව ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියේ සුප‍්‍රකට හලේ සරසවියට යාමට ඔහුට අවස්ථාව ලැබුණි.

එහිදී ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගෙන පෙරළා මව්බිමට පැමිණි අනුරාධ සෙනවිරත්නයන්ට පේරාදෙණියේ ස්ථිර පත්වීමක් ලැබුණි. ඒ සඳහා ඔහු නිර්දේශ කරනු ලැබුවේ හෙට්ටිආරච්චි හා පරණවිතාන ඇදුරන් දෙපළ විසිනි.

’ඔබ තුමා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කෙතරම් ඉහළට ගියත් එතෙර මෙතෙර ඔය නම ප‍්‍රකට වූයේ ග‍්‍රන්ථ රචකයකු වශයෙන්. ග‍්‍රන්ථකරණයට යොමුවීමට තුඩුදුන් හේතුකාරක පැහැදිලි කළොත් අප කාටත් එය ප‍්‍රයෝජනවත් වෙයි කියා සිතනවා...’ අවසරයක් ලද සැනින් මම පැනයක් නැඟිමි.’

ඒ කාලේ ධර්මරාජ විද්‍යාලයේ තිබුණ එක පාඩමක් තමා සතියකට වරක් පොතක් කියවන එක. අපිට හොඳ පුස්තකාලයකුත් තිබුණා. පොතක් ගත්තෙ නැත්නම් නිදහසට කරුණු කියන්න වෙනවා. ඉතින් හැම සතියකම අලුත් පොතක් කියවීමේ අවස්ථාව අපට ලැබුණා. ඒ වගේ ම ජ්‍යෙෂෂ්ඨ සහතික පත‍්‍ර විභාගෙට පාලි සංස්කෘත වගේ විෂයන් කරනකොට ලොකු දැනුමක් ලැබුණා.

ඒ කාලේ ටියුෂන් ක‍්‍රමයක් තිබුණෙ නැහැ. ගුරුවරු පාසල් කාලයෙන් පස්සෙත් සවේච්ඡාවෙන් ම ඉගැන්නුවා. බහතේරෙන වියේ සිට අවුරුදු 30 ක් විතර වෙනතුරුම පොතට පතට අමතර ලෝකයක් මා දුටුවේ නැහැ. අවුරුදු 16 වන විට පුස්තකාලෙයන් ති‍්‍රපිටකය කියෙව්වා. මුල්ම පොත ලිව්වෙත් 16 දිමයි, උපනිශද් කියලා.

මැක්ස් මිලර් වැනි පඩිවරුන් වේදාන්තය ගැන ලියූ පොත්, භාරතීය දර්ශනය ගැන ලියැවුණු පොත් ආදිය කියවා තිබීම අවුරුදු 16 ක ළමයෙකුට එවැනි හාස්කමක් කරන්න හේතුවෙන්න ඇති කියලා 70 දශකයේ ජීවත්වන මනුෂ්‍යයෙක් වශයෙන් අද මට කල්පනා වෙනවා.

‘ඒ වගේ ම පේරාදෙණියෙ සිංහල දෙපාර්තමේන්තුවෙ ඉන්න කාලෙදි මුණගැහුණු ආනන්ද කුලසූරිය, එම්.බී. ආරියපාල හා ජයදේව තිලකසිරි වැනි මහාචාර්යවරුන් මගේ ශාස්තී‍්‍රය කටයුතුවලට අනුබල දුන් බව මතක් කළ යුතුයි.

මේ වගේ පරණ මිනිස්සු අතර මොනතරම් මනුෂ්‍යත්වයක් තිබුණ ද කියල හිතෙනවා. නමුත් වර්තමාන පරම්පරාව නම් එන්න එන්නම කුහක වෙනව කියලයි හිතෙන්නේ. ඒකට හේතුව, එකක් තරුණ කණ්ඩායම්වල වැරදි ආකල්ප හා හරයන්. අනිත් එක සල්ලි පසුපස හඹා යාම.

පරණවිතානලා, හෙට්ටිආරච්චිලා ටියුෂන් දිදී සල්ලි හොයපු උදවිය නෙවේ. තමන්ගේ වෘත්තියට කැප වූ අය. විශ්ව විද්‍යාල ගුරුවරයෙක් කියන්නේ පොතට පතට පර්යේෂණවලට කැපවූ කෙනෙක්. වස්තුව හඹා යන්නෙක් නෙවේ.

ඔබතුමා ශිෂ්‍ය ප‍්‍රජාව ඇසුරෙන් ලබපු සුවිශේෂ අත්දැකීම් එහෙමත් ඇති නේද? මහාචාර්යතුමාගේ ශාස්තී‍්‍රය ජීවිතයේ තවත් පැතිකඩක් අනාවරණය කරගැනීමට මට සිත් විය.’

මම කියන්නම් අපූරු අත්දැකීමක්. මම එක්තරා කාලෙක සිගරට් බොන්ඩ පුරුදු වෙලා හිටියා. සමහරවිට පරණවිතාන උන්නැහැගෙ බලපෑමත් ඒකට හේතුවක් වෙන්ඩ ඇති. උන්නැහැ දවසට සිගරට් පැකට් 5 ක් විතර බිව්වා. මම දවසක් සිගරට් එකක් බිබී ඉන්නකොට විශ්ව විද්‍යාල ළමයෙක් ඇවිත් මගෙන් සිගරට් එකක් ඉල්ලුවා.

මට එකපාරටම කෝපයක් හා ලජ්ජාවක් ඇතිවුණා. සිගරට් එකක් දීලා මම ඇහැව්වා කොයි ඉස්කෝලෙන් ද ආවේ කියලා. සර්ගෙන් සිගරට් එකක් ඉල්ලපු එකත් හරිද කියලා ඇහැව්වා. ඒ පාර කොල්ලා මගෙන් අහපි සර් ඉස්කෝලෙ යන කාලෙ සිගරට් බිව්වද කියලා. මම කිව්වා ඔව් බිව්වා! ගුරුවරුන්ට හැංගි හැංගී බොන්න ඇති නේද කොල්ලා අහනවා.

මම ඒකටත් ඔව් කිව්වා. ඒ පාර මිනිහා කියනවා සර්ලා වංචාවක්නෙ කරලා තියෙන්නෙ. සර්ලා ජීවත්වෙලා තියෙන්නෙ වාංචනික සමාජයක. මට එහෙම ජීවත්වෙන්න අවශ්‍ය නැහැ. සර් දන්නවනේ කොල්ලො සිගරට් බොන බව. ඒකයි ඉල්ලුවේ.

අකමැති නම් මේක ආපහු ගන්ඩ. සර්ට ගෞරව කරනවා හොඳ ගුරුවරයෙක් හැටියට. ඒත් සර්ලා වගේ වාංචනිකව ජීවත්වෙන්ඩ අපට අවශ්‍ය නැහැ. සර්ලයි අපියි අතර වෙනස ඒකයි.’ මම කල්පනා කළා ඒ කියමනෙත් ඇත්තක් තියෙනවා නේද කියලා. ඒ වගේම තේරුම් ගන්ඩ බැරි සංස්කෘතියකුත් තියෙනවා. හොඳම දේ මේ දේ නොකර සිටීම. එහෙම හිතලා මම සිගරට් බීම අතහැරියා.’

’මහැදුරු අනුරාධ කතාව නතරකොට මා දෙසට බැල්මක් හෙලී ය. එහි කිසිදු කෝපයක් හෝ අතෘප්තිකරබවක් සටහන් ව නැත. උපේක්‍ෂාබර මඳහසක් පමණක් මෝදු වෙමින් තිබිණ. ඔහුගේ ජීවිතයේ පෞද්ගලික තොරතුරු බිඳක් විමසා බැලීමට මේ කදිම අවස්ථාව යයි මට සිතිණි. මහාචාර්යතුමා විවාහ දිවිය ට එළඹෙනුයේ 1963 වසරේදී ය. ඔහුගේ දයාබර බිරිඳ මහනුවර පුෂ්පදාන බාලිකාවේ ගුරුවරියක වූ අයිරාංගනී කුමාරිහාමි නියෙර්යාල ය. ඔවුන්ට පුත්තු දෙදෙනෙක් වෙති. ඔවුන්ගේ පදිංචිය කොළඹ ය. ශාස්තී‍්‍රය ජීවිතයෙන් බැහැර තතු කෙරෙහි එතුමා වැඩි උනන්දුවක් නොදක්වන බව පෙනුනෙන් මම යළිත් ඉතිහාසය හා සංස්කෘතිය දෙසට ඔහුගේ අවධානය යොමු කළෙමි. ඓතිහාසික සම්ප‍්‍රදායන්ට හා සංස්කෘතිකාංගයන්ට අනාගත සමාජය තුළ කෙබඳු වටිනාකමක් අත්වේදැයි යන්න මහැදුරුතුමා වෙත යොමු වූ මගේ ඊළඟ පැනය විය.

බුදු හාමුදුරුවො කිව්වා වගේ වෙනස්වීම් ගැන අපි කම්පා විය යුතු නැහැ. සම්ප‍්‍රදාය කියන්නේ ධාතු කරඬුවක් නෙවේනෙ. කලින් කලට සමාජ අවශ්‍යතා අනුව අපේ සාරධර්ම පවා වෙනස් වෙනවා.

හැබැයි වැදගත් දේ තමා හරයන් ආරක්‍ෂා කර ගැනීම. අපේ වගේ බෞද්ධ සංස්කෘතිය විසින් හික්මවපු සමාජයක අවුරුදු දෙදහස් ගණනක් ආරක්‍ෂා කරපු සාරධර්ම පද්ධතියක් තියෙනවා. අන්න ඒ පදනම කඩන්න නරකයි. නමුත් එක දෙයක් තියෙනවා. බොහොම කණගාටුයි කියන්න. අපේ විද්‍යුත් මාධ්‍යජාලය. රජය විසින් කොයි මොහොතක හෝ මේ ප‍්‍රශ්නයට අත තැබිය යුතුයි. සංස්කෘතික සාරධර්ම විනාශ කරන ප‍්‍රධාන හතුරා එතනයි ඉන්නේ. මේවා දරුවෝ බලනවා කියන්නේ ලොකු විනාශයක්. වැඩි වශයෙන්ම මේවායේ විකාශනය වෙන්නේ තුට්ටු දෙකේ බයිලා වැඩසටහන්. රටේ ප‍්‍රබුද්ධ කලාකරුවන්ට මේවායේ තැනක් නැහැ.

සමාජයක රසඥතාව දියුණු කිරීම රජයක වගකීමක්. සමාජයේ ඉදිරිගමනට හානියක් සිදුවෙනවා නම් රජයක් කොයිතරම් අපකීර්තියට පත්වුණත් මේවට අත තියන්න ඕනෑ. ඔය නිදහස කියන එකේ සීමාවක් තියෙනවා. අසීමිත නිදහස කියල දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. අපිට ඕනෑ විදිහට ඇඳුම් ඇඳගෙන පාරෙ යන්ඩ බැහැනේ. මිනිස්සු ගල් ගහනවා.

මේක යුද්දෙටත් වඩා භයානකයි. යුද්ධයක් කෙසේ හෝ ජයගත හැකියි. දැන් අවුරුදු 25 ක් 30 ක් තිස්සේ ත‍්‍රස්තවාදයෙන් වුණු හානිය කවුරුත් දන්නවා. ත‍්‍රස්තවාදය මෙල්ල කිරීමට විරුද්ධව කවුරුහරි තකා කරනවනම් ඒ මිනිහගෙ මොළේ මොකක් හරි අඩුවක් තියෙන්න ඕනෑ. මම නම් මේ වැඩේ අනුමත කරනවා. නමුත් ඒ අතරතුර මේ තරුණයෝ අවි ගත්තෙ ඇයි කියන එක ගැනත් අපි හොයල බලන්න ඕනෑ.

අන්න ඒ හේතුවට පිළියම් කරන්න ඕනෑ. භූමිය දිනාගෙන වැඩක් නැහැ. භූමියෙ ජීවත්වෙන මිනිස්සුයි දිනාගත යුත්තේ. අන්න එතෙන්ට දැන් රජය යොමුවෙන්න ඕනෑ. ඒ වගේ ම රජයට විතරක් මේක තනියම කරන්ඩ බැහැ. රටේ හැම දේශපාලනඥයෙක්ම මේකට එකතු වෙන්න ඕනෑ. අපේ රටේ අනාගතය වෙනුවෙන් අපේ යුතුකම මේකයි කියලා තේරුම් අරගෙන වැඩ කරන්න ඕනෑ. එහෙම කරන්නෙ නැති අය හඳුන්වන්න වෙන්නේ රටට ද්‍රෝහි වූ අය හැටියටයි.

මහාචාර්යතුමාගේ මුහුණ හැඟීම්බර වී ඇති අයුරු මට පෙනෙයි. හුදෙක් ශාස්තී‍්‍රය ලෝකය තුළ සිරවී නොසිට සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරෙහි ද අවදි මනසකින් පසුවන මෙවන් වියතුන් අප රටට තව තවත් අවශ්‍ය නොවේදැයි මට සිතිණ. මෙබඳු ඓතිහාසික මොහොතක රටේ බුද්ධිමතුන්ට පැවරෙන වගකීම පිළිබඳව ද එතුමාගේ අදහස් විමසා සිටියෙමි.

මේකෙ දෙපැත්තක් තියෙනවා. රජයක් දේශපාලන පක්‍ෂපාතිත්වයෙන් තොරව උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හා කලාකරුවන්ගේ මතයට සවන් දෙන්න ඕනෑ. දැන් සිද්ධ වෙන්නේ ආවඩන අය හරි වැරැද්ද නොබලා හැම එකකට ම ආවඩනවා.

විරුද්ධ වෙන අයත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔක්කෝට ම විරුද්ධ වෙනවා. නිර්භීතව කෙළින් කතා කරන්නේ කිහිප දෙනෙක් විතරයි. අපටත් මේ රටේ ගොඩනඟාගත්තු පිරිසක් ඉන්න බව බුද්ධිමතුන් කලාකරුවන් තේරුම්ගන්ඩ ඕනෑ.

අපට තියෙන ඒ පදනම කාටවත් නැති කරන්න බැහැ. දැන් බලන්ඩ සරච්චÁද්‍රට තියෙන පදනම නැති කරන්න පුළුවන් ද? අපි කල්පනා කරන්න ඕනෑ දේශපාලනඥයන්ට වඩා අපි ප‍්‍රබලයි කියලා. උගතුන් හා දේශපාලනඥයන් ගැන කතා කරනකොට ම අපූරු ශ්ලෝකයක් මතක් වුණා.’ස්වදේශේ පූජ්‍යතේ රාජා - විද්වාන් සර්වත‍්‍ර පූජ්‍යතේ’ ඒකෙ තේරුම තමා ‘රජතුමා තමන්ගේ දේශයේ ගෞරවයට පාත‍්‍රවන විට විද්වතා මුළු ලෝකයේම ගෞරවය දිනා ගන්නා බව‘

මහාචාර්ය අනුරාධ සෙනවිරත්න බඳු බොහෝ ඇසූ - පිරූ විද්වතකුගෙන් අසා දැන ගත යුතු කරුණු කාරණා රැසක් තිබුණ ද කාලයේ හා අවකාශයේ සීමාවන් සලකා මා ඊළඟට ඔහුට ඉදිරිපත් කළ පැනය මෙසේ ය. ‘අනුරාධ සෙනවිරත්න කියන්නෙ බොහොම දුර ගමනක් ආපු ගැමි දරුවෙක්. එවැනි ගමනක් යන්නට පෙරුම්පුරන මතු පරපුරේ දරුවෙකුට ඔබ සපැමිණි ගමන පිළිබඳ ව පැවැසිය හැක්කේ කුමක් ද?

ලැබෙන දේට වඩා ලබාගන්න දේ තමා වැදගත්. අපට කළ හැක්කේ මාර්ගය පෙන්වීම පමණයි. උත්සහය හා උවමනාව ඇත්නම් දුර ඉලක්කයක් හඹා යා හැකියි. ගෙදර ශික්‍ෂණය මට හුඟක් බලපෑවා කුඩා කාලයේ.

ළමා ජීවිතයක බොහෝ දේවල් අහිමි වුවත් යා යුතු මග පියා පහදලා දුන්නා. දැන උගත් වැඩිහිටියකු වුණාට පස්සෙ අහිමි වූ දේවල් ආපසු ලබා ගත්තා. ලෝකයේ රටවල් රැසක ඇවිද්දා. ලෝකයේ ප‍්‍රභූවරුන් රැසක් හමුවුණා. කැලිෆෝනියා - ඔක්ස්ෆර්ඩ් වගේ ප‍්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල හිටියා. ගෙවල් දොරවල් යාන වාහන ඔය හැම දෙයක්ම මගේ උත්සහයෙන් ලබා ගත්තා. පොත්පත් රාශියක් දැනටත් සකස් කරගෙන යනවා. ප‍්‍රකාශකයෝ අදටත් මා සොයාගෙන එනවා. මට අසනීප වූ වේලාවේ හැම ප‍්‍රකාශකයෙක් ම වගේ උදව් කළා.

මම කලක් කලා මණ්ඩලයේ සභාපති වෙලත් හිටියා. ඒත් ඇමතිගේ ඇඟිලි ගැහිලි නිසා කෙටිකලකින් අස්වුණා. මේ විදිහට බලනකොට කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථා රැසක් මට හිමිවෙලා තියෙනවා. මෙහිදී මට විශේෂයෙන්ම කියන්න තිබෙන කාරණය තමා උත්සාහය, උවමනාව, කැපකිරීම වැනි දේවල් මත පමණක් මේ සියල්ල ලබාගත් බව. ඔන්න ඔය විදිහට තමා මගේ ගමන මම ආවේ. මම දැන් හැම දෙයක්ම අතහැරපු නිදහස් පුද්ගලයෙක්. හැබැයි තෘප්තියක් තියෙනවා. මොකද මම ලොකු වෙහෙසකින් මෙතෙන්ට ආපු මනුස්සයෙක් නිසා.කතාව නිමා කළ මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මවෙත පෑ මදහසේ කිසියම් ජයග‍්‍රාහී සේයාවක් තැවැරී ඇතැයි මට සිතිණි. දෙස් විදෙස් සුපතල මේ වියත් මහැදුරුතුමාට අප නුවණැසි පැදීම පිණිස තවත් දිගු කලක් ශාස්තී‍්‍රය මෙහෙවරෙහි නිරතවීමට සුවශක්තිය ලැබේවායි පතමින් මම ඔහුගෙන් සමුගතිමි.

Memorial Foundation

songs banner-011

getsinhala