මහැදුරු හද කුටියෙන් නික්මුණු ගී මල් සුගන්ධය

BY: Silumina

samarumමහැදුරු අනුරාධ සෙනෙවිරත්නයන් රචනා කළ ගී පිළිබඳ ව ලියැවුණු මේ විචාරාත්මක ලිපිය සිළුමිණ පුන්කලස අතිරේකයට ලැබුණේ ඔහු දැයෙන් සමුගැනීමට පෙරාතුව ය. එය මුද්‍රණයෙන් එළිදැකීමට පෙර ඉකුත් 09 වැනිදා මේ සාහිත්‍යවේදියා තමන් විසින් ඉටු කරන ලද සුවිසල් මෙහෙවර නිමැ කරමින් අභාවප‍්‍රාප්ත විය. ඔහුට කරන ලද ප‍්‍රණාමයක් වශයෙන් මේ ලිපිය ඉදිරිපත් කෙරේ.

මෙ රටේ, ගුවන් විදුලිය නම් වූ ශ‍්‍රව්‍ය මාධ්‍යය ඇරඹී ගෙවී ගිය අඩසිය වස ඇතුළත, බොහෝ ගීත රචකයන් කලඑළියට ආහ. ග‍්‍රැමෆෝන් යුගයේ සිට මේ දක්වා විවිධ යුග ශෛලීන් හා පෞද්ගලික රීතින් ඒ මඟ අතරතුර සටහන් කරමින් ඔවුහු ගීත වංශ කථාව විචිත‍්‍ර කළහ.

ඇතැම් රචකයන් සංඛ්‍යාත්මක ව විශාල ගී පද ප‍්‍රමාණයක් ලියා ඇති අතර තවත් සමහරෙක් එක් ගී පද රචනයකින් හෝ දෙකකින් පසු සිය භූමිකාවෙන් ඉවත්වූහ. මේ අතර සිටින විශේෂ ප‍්‍රතිභාවක් සහිත තවත් ගීත රචකයෝ, කිසියම් යුගයක් තුළ අතිශයින් ප‍්‍රකට වී පසුව, ගීත රචනා ක්ෂේත‍්‍රයෙන් බැහැර වෙති. නැතහොත් වෙනත් ක්ෂේත‍්‍රයකට දායක වෙති.

එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මෙරට ගුවන් විදුලි ශ‍්‍රාවකයන් අතර අතිශයින් ප‍්‍රකට නමක් දිනාගත් එබඳු ගීත රචකයකු ලෙස මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න හැඳින්විය හැකි ය. ගණනින් විශාල ගීත ප‍්‍රමාණයක් නොලියූ නමුත් එතුමා අතින් රචනා වූ ගීත බොහොමයක්, අදත් වැඩි දෙනෙකුගේ මතකයේ පවතී. ගීත ලිවීමට පෙර මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් උපදේශකයකු වූයේ ය.

1970 දී පමණ විශාරද පී.වී.නන්දසිරිගේ සංගීත සම්පාදනයෙන් එතුමා ‘චාපා’ නම් ගුවන්විදුලි ගීත නාටකය රචනා කළේ ය. 1971 දී සංගීත් නිපුන් සනත් නන්දසිරි සමඟ ‘එරමුදු මල්’ ගීත නාටකය රචනා කළ මහචාර්ය සෙනෙවිරත්න අතින් එබඳු ගීත නාටක ඔස්සේ ද සමහර ගීත කලඑළි පැමිණුනි. එරමුදු මල් පොට්ටු පොට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු නම් අවුරුදු ගීතය එබන්දකි.

මේ ගීත නාටකයේ සංගීතය විශාරද සනත් නන්දසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලදී. සමස්ත නිර්මාණය, ගීතවත් භාව හැඟුම් මතුවන අන්දමින් සැකැසී තිබිණි.

බක් මාසයෙහි වූ පාරිසරික චමත්කාරය හා ළඟ එන්නා වූ වසන්ත උත්සවයේ ප‍්‍රීතිය පොදුජන සිත්වල ජනිත කරවීම ගීත නාටකයේ අරමුණ විය. එහි වූ ගීත සනත් නන්දසිරි හා මල්කාන්ති නන්දසිරි ඇතුළු පිරිසක් විසින් ගයන්නට යෙදිණි.

බක්මාසයේ අපේ ගමට අවුරුදු එනවා
ගලනා හිරු රැස් එළියෙන් ගම පිබිදෙනවා
අවුරුදු ඇඳුමින් රුව සරසා ගෙන
අතිරස මුංගුලි කැවුම් වඩාගෙන
නෑයන් බැහැදැක ගන්න හිතාගෙන
නෑගම් යනවා සිංහල සිරිතට

ar0907195-1යන්නද එරමුදු මල් ගීත නාටකයේ එන ගීයකි. මහාචාර්ය සෙනෙවිරත්න ලියූ එවන් ගීත, ගුවන් විදුලියේ මහගෙදර වූ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ තිබී මේ මෑත දිනෙක මට ලැබිණි.

ඒවා ලබාදී මෙහිලා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මැතිතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒරානන්ද හෙට්ටිආරච්චි මැතිතුමා සහ කඳුරට ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සරත් ඉලංගන්තිලක සහ චූලාභය හේරත් යන මහතුන්ට ද මගේ ස්තුතිය හිමි වේ.

මහාචාර්ය සෙනෙවිරත්නගේ බොහෝ ගීතයන්හි සිංහල සංස්කෘතියේ හා බුදු සමයෙහි ඇති අත්‍යන්ත බද්ධතාව දක්නට ලැබේ. දැනට ගුවන්විදුලියේ හා රූපවාහිනියේ නිබඳ ප‍්‍රචාරය වන හා අතීතයේ ගුවනින් ඇසුණු එබඳු ගීතවල පද යෙදුම්, උපමා රූපක භාවිතය, හා කලාත්මක භාවය සංක්ෂිප්ත ව විමසුව මනා වේ.

එක්දහස් නවසිය හැත්තෑදෙකේ ජනරජ ආණ්ඩුව සමයේ මහැදුරු සෙනෙවිරත්න රචනා කළ ප‍්‍රකට ගීතයකි. “ජයතු ජයතු ශ‍්‍රී ලංකා ධරණී” යන්න. මෙය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් විසින් සංගීතය සපයනු ලැබ ගායනා කළ එකකි.

මේ ගීයෙහි ඇති විශේෂත්වය නම්, ජාතික රාජ්‍යයක ඇති ස්වෛරීභාවයත්, ආගමික සංස්කෘතික සහ සම්බන්ධතාවත් මනාව සූචනය කිරීමය.

ඇරඹුමේදී ලංකාධරණයෙහි ඇති, සදාවන්දිත බව ඉඟි කරන රචකයා, අනතුරුව මේ ධරණියෙහි සමස්ත ජනයාගේ අධ්‍යාත්මික සංස්කෘතියේ මූලයන් ගැන ඉඟි කරයි.

”සමනල කන්දේ - සිරිපා හෙවනින්
ශ‍්‍රද්ධා භක්ති ප‍්‍රවාහ ගලන්නේ
සත්රුවනින් පුරවා අප දේශය
සිව්මහ ගංගා ගලා බසින්නේ”

අවසාන අර්ධයේදී, අනාදිමත් කාලයක සිට පැවතෙන අපගේ සංස්කෘතික උරුමය පිළිබඳ රචකයා සාකච්ඡා කරයි.

”දෙදහස් වසරක අපගේ උරුමය
සකල සිව් දිගින් දෙරණ පිදේවා
ඒ අභිමානය නංවා දස අත
නිදහස් ලෝකෙ පෙරට ඇදේවා”

මේ ගීයේ අරුත හැත්තෑව දශකයට වඩා උචිත වන්නේ, අතිගරු ජනාධිපතිතුමන්ගේ අනභිභවනීය නායකත්වය කරණ කොටගෙන අපගේ සංස්කෘතියේ නව කඩඉමක් සනිටුහන් කරන වත්මනට ය. ලෙවි ස්ට‍්‍රවුස් (Levi-strauss) නම් මානව විද්‍යාඥයා, පෙරදිග සංස්කෘතියේ දුටු (1) පරමාධිකාරය (2) බලධාරිභාවය හා (3) සාර ඵල ප‍්‍රදානය යන ලක්ෂණ තුන අපේ සංස්කෘතියේ නිදන්ව ඇති බව මහාචාර්ය සෙනෙවිරත්නගේ මේ ගීයෙන් ඇඟ වේ.

මහාචාර්ය සෙනෙවිරත්නයන් ගීත රාශියක පදමාලා රචනා කර ඇත. ඔහු වර්තමාන රසිකයා අතර වඩාත් ප‍්‍රකට ව ඇත්තේ නන්දා මාලනිය ගයන “මුදු කරුණා දෑස තෙමී” ගීයේ රචකයා ලෙසිනි.

ඒ ගීය කෙතරම් ජනප‍්‍රිය ද යත් ඕනෑම බෞද්ධ ආගමික උත්සවයකදී ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් හි මේ ගීතය තේමාවක් ලෙස යොදා ගැනේ. වෙනත් බොදු ගීතවලට වඩා මේ ගීතයේ අර්ථමය පක්ෂයේ විශේෂත්වයක් ඇත.

”කඳුවැටි වල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි”

මෙහි එක්තරා ජීවභක්තිවාදී භාව ලෝකයක් මැවේ. එය එක්තරා අයුරකින් සර්.එඩ්වින් ආනෝල්ඩිගේ ”Light of Asia” වේ එන උත්කර්ෂවත් කාව්‍යමය භාවකථන ස්වරූපයකට සමාන ය. ”Light of Asia” හි එක් තැනක මෙසේ දැක්වේ.

බුදුහිමි මහ වනයක නිල්ල අතරින් වඩින විට මහතුරු සෙමින් පිණිබිඳු හෙලා ශක්තිය වගුරන බව කියැවේ. මහ පොළොවට හදවතක් ලැබී ඇත. හාත්පස දිය පොකුණුවල මහ පොළොව සනහන සිනහ වඩිනි. අනුරාධ සෙනෙවිරත්නයන්ගේ බුදු කරුණා ගීතයේ බොහෝ තැන්වල මෙවන් උත්තරාශවයන් භාව ලෝකයන් හමුවේ.

”සමාධි බුදු ගුණෙන් පිරි ඔබෙ නිසල බුදු රුව
ගලෙන් මැවුනා - මහා කරුණා
නුවන් අබියස දුක නිවා අම
සිහිල දැනුණා”

යන්න හැඳින්විය හැකි ය. මේ ශිල්පිනිය විසින් ම ගැයෙන

”අන්න බලාපන් පුතුනේ” යන ගීතය සංගීත සංයෝජන අංශයෙන් හා පද මාලාවක් ලෙස අතිශය සුගායනීය නිර්මාණයකි. ගීතය ඔස්සේ කියැවෙන්නේ සිඟිති වයසෙහි සිටින දරුවකු කර හිඳුවාගෙන ඔහුට අනුරපුර පෙ‍්‍රෟඪ රාජ්‍යයේ අනාදිමත් ඉතිහාසයේ තොරතුරු කියාදෙන මවකගේ දයාබර ඇමතුමක් පිළිබඳ ව ය.

”උඩ මළුවේ වැඩ හිඳිනේ
සිරිමා බෝ හිමි සඳුනේ
සාදු කියන් පොඩි පුතුනේ” යි මව කියයි.

ඒ පද අතර තුර, අනුරාධපුරයේ සුදෝසුදු දාගැබ් වල දැවැටී, ස්වයං පෝෂිත වැව් ගම්මානයන්හි සාරය උකහාගෙන, රන්වන් කෙත් යායවල් පිසගෙන හමන සන්සුන් සුළං රැල්ලක් වැනි සංගීත ඕඝයක් ඇසෙයි.

”සිංහල අප ඉතිහාසේ
ලියැවුණු ගල්කළු අතරේ
සුදිලෙයි දෑ අබිමානේ
සන්සුන් වනපෙත් අතරේ”

මහාචාර්ය සෙනෙවිරත්නගේ ගී ඔස්සේ ප‍්‍රතියමාන කරන දෑ අබිමන, බටහිර ජාතීන් නිතර මුමුණන වර්ගවාදය හෝ ආක‍්‍රමණශීලී භාවය නොවේ. තම සංස්කෘතියෙහි වූ සෞන්දර්යය පිළිබඳ කෙනෙකු සිදුකරන අහිංසක අනුස්මරණයක් හා ධාර්මික ආනන්දයකි. සනත් නන්දසිරි ගයන “ඉරහඳ පායන සිංහල දීපේ” යන්නෙහි ද මා කියූ ඒ ලක්ෂණය ඇත. ජාතික සංස්කෘතියෙන් උදම් වන කෙනෙකු අවසානයේ “ජාති ජාති හෙළ බිම උපදින්ටයි” යන හැඟුම්බර ප‍්‍රාර්ථනයෙන් තම දේශභක්තිය එහි කියා පායි.

මහාචාර්ය සෙනෙවිරත්නගේ ගී පද රචනයෙහි කාව්‍යාත්මක පරිණතියක් දක්නට ලැබෙන අතර අවස්ථා දෙකක් වශයෙන්, බණ්ඩාර ආතාවුද ශිල්පියා ගයන “සඳරැස් වතුර ලොව නහවා ගලන සඳේ” යන ගීතයත් නන්දා මාලනී ශිල්පිනිය ගයන “නිල් කටරොළු මල් ඉහිරුණු ගුවන්තලේ” යන ගීතයත් දැක්විය හැකි ය. බණ්ඩාර ආතාවුද ගයන ගීයේ, හැම පදයක ම අන්තයෙහි සඳැස් ආකෘතියක් වේ. එහි එන

”අරුණළු කිරණ පැතිරෙයි දිය තුළ පැහැදි” ආදි යෙදුම් සම්භාව්‍ය සංදේශ කාව්‍ය සිහි කරවයි.

”දියතුර පැතිර බස්නා තඹ වතුර මෙනි
දිනකර කිරණ අවරඹරට වැද ගියෙහි”

යන හංස සංදේශයේ එන රාති‍්‍ර වර්ණනය එහිදී ආවර්ජනය වන්නේ නිතැතිණි. නන්දා මාලනිය ගයන පෙර දැක්වූ ගීයද රාති‍්‍ර අසිරිය ගැන කියන්නකි.

”නිල් කටරොළු මල් ඉහිරුණු
ගුවන් තලේ රුවන් ගැබේ
නිසංසලේ සෙමෙන් සෙමෙන්
කවුළු වැහෙනවා

රන්තරු කැට
පහන් වට දැල්වී එනවා
හිරු දෙවියන් සැතපෙන්නට
යහන් තනනවා

ආදී වචනාවලිය, රාති‍්‍රය පිළිබඳ වැඩිහිටියකු තුළ සේම ළමයකු තුළද නිවී සැනහී ගිය, පහන් හැඟුම් දැනවීමට සමත්වෙයි.

මහාචාර්ය සෙනෙවිරත්න, බොහෝ කාලයක් ගීත රචනයෙන් ඈත් ව සිට මෑතක ලියූ ගීයක් ශිල්පී ජගත් වික‍්‍රමසිංහ විසින් ගයනු ලැබේ. එය ප‍්‍රථමයෙන් ම විකාශනය වූයේ කඳුරට ගුවන් විදුලියෙනි.

පෙ‍්‍ර්මයේ වඩා හැඟුම්බර උන්නතාංශයක් ගැන ඉන් කියැවෙයි. මහාචාර්ය සෙනෙවිරත්න ස්වකීය හැත්තෑ එක්වන ජන්ම දිනය සමරන මේ මොහොතේ එතුමා අතින් රසැයුණු මෙවන් ගීත පිළිබඳ පාඨකයා දැනුම්වත් කරනු රිසියෙන් මේ ලිපිය ලියැවෙයි. එතුමාගේ විවිධ ලිපි ලේඛන හා මේ ගීත ”anuradhaseneviratne.com”  යන වෙබ් අඩවියෙහි ගැබ් වේ.

Memorial Foundation

songs banner-011

getsinhala