අමතක නොවන මිනිසකුගේ අප්‍රකට තතු

BY: Silumina

samarumමහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ අභාවය සිදුවී මේ වනවිට තෙමසක් ගත වී තිබේ. එතුමා නිමිත්තෙන් යෙදුණු සංඝගත දක්ෂිණාව පසුගිය 09 වනදා කටුගස්තොට කහල්ලේ ‘භාගිරළි’ නම් වූ එතුමාගේ නිවසෙහි පැවැත්විණි.මේ ලිපියේ අරමුණ වන්නේ මහැදුරු සෙනෙවිරත්න ගේ ශාස්ත්‍රීය ජීවිතය පිළිබඳ ආවර්ජනා කිරීම නොව, බොහෝ දෙනා නොදත්, එතුමාගේ පෞද්ගලිකත්වය හා බැඳුණු මානුෂික ආකල්ප පිළිබඳ පාඨක ඔබේ අවධානය යෙදවීමය.

මා මින් පෙරත් විවිධ ලිපිවල දක්වා ඇති පරිදි මහැදුරු සෙනෙවිරත්න බොහෝ පෞද්ගලික තොරතුරු මා හා සාකච්ඡා කර තිබේ. වර්ෂ 1999 දී පමණ එතුමා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ‘Soas’ හෙවත් ‘School of oriental & African Studies’නම් දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී මා හා ලිපි ගනු දෙනු කළේ ය.

එලෙස එවූ ලිපි රැසක්, දැනුදු මගේ පුස්තකාල කුටියේ සුරක්ෂිත ව තැන්පත් කර ඇත. යමෙකු ගේ පෞද්ගලිකත්වයේ ඇති දොස් හෝ අඩුලුහුඬුකම් ඍජු ව ප්‍රකාශ කිරීම සත් ගුණයකි. මහැදුරු සෙනෙවිරත්න එවන් අයෙකි. 2000.01.14 දිනැති ව එතුමා ලන්ඩන් සරසවියේ පෙරදැක්වූ අංශයේ සිට මා වෙත එවූ ලිපියක් අරඹා ඇත්තේ මෙසේ ය.

“සාලිය මගේ ලිපිවලට ඔබෙන් ලැබෙන්නේ පිළිතුරු නොව, තවත් විස්තරාත්මක පැහැදිලි කිරීම් පමණි. සමහර විට ඔබ ලියන ලිපි කියවන්නේ උපාධි නිබන්ධනයක් කියවන්නාක් මෙනි. ඔය තරම් ශාස්ත්‍රීය අන්දමින් පෞද්ගලික ලිපි ලිවීම නතර කර සාමාන්‍ය ලෙස ලියන්න.”

සැබැවින් ම එය ඉතා ප්‍රයෝජනවත් අවවාදයකි. මා තරමක් හරබර ලෙස එතුමාට ලියුවේ සාමාන්‍ය ලෙස ලිවීම, නුසුදුසු යයි සිතූ බැවිනි. මහැදුරු සෙනෙවිරත්න, මේ රටේ වෙසෙන ප්‍රකට පුද්ගලයන් පිළිබඳ ව ඒ ලිපිවල සඳහන් කර ඇති නොයෙක් තොරතුරු ඔස්සේ, ඒ ඒ පුද්ගලයන් පිළිබඳ කාලයේ කඩතුරාවලින් වැසී ගිය මානුෂික තතු ද දැනගත හැකි වෙයි.

වරක් එතුමා මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන සඳහන් කරමින් ගම්ලත් මහතා ඉතා විචක්ෂණ ශාස්ත්‍ර වන්තයකු බවත් එතුමා වරින් වර පුද්ගලයන් සමඟ නීරස වාද විවාද ඇති නොකර ගැනීම වඩාත් හොඳ බවත් දැක්වීය. එසේ දක්වමින් ම අනුරාධ සෙනෙවිරත්න මහතා, සුචරිත ගම්ලත් මහතා ලියූ ‘කාව්‍ය ශේඛර විමසුම’ කෘතිය මා ලවා ලන්ඩනයට ගෙන්වා ගත්තේ, එය බැලීම අවශ්‍ය බව කියමිනි. බ්‍රිතාන්‍යයේ මහරැජිණ පිළිබඳ තොරතුරු කියූ මහාචාර්ය සෙනෙවිරත්න 1999 ජූනි 21 දිනැති ව මා වෙත එවූ ලිපියක, ලන්ඩන් කෞතුකාගාරය පිහිටා තිබුණේ එතුමා නැවැතී සිටි ස්ථානයට පිටුපසින් බවත් ඇතැම් සන්දෑ වරු වලදී ඊටත් මහ රැජිණ වෙසෙන බකිං හැම් මාළිගය නැරැඹීමටත් යන බව දක්වා තිබුණි.

මහරැජිණ අතිශයින් ශක්තිමත් පෞරුෂයක් ඇත්තියක බව සඳහන් කළ ඔහු, රාජකීය ජීවිතයක සැදෑ සමයේ දැනෙන කාන්සිය වඩාත් දැඩි එකකැයි තමා සිතන බව ද සඳහන් කළේ ය. තමා වෙත මහරැජින තේ පැන් සංග්‍රහයක් පිරිනැමූ බව ද මහැදුරු සෙනෙවිරත්න ඒ ලිපියෙන් දන්වා එවීය.

බොහෝ මිනිස්සු ජීවත් වන කාලයේ වෙනත් අයගේ සිත් සතන් වල විවිධ ආකල්ප ඇති කරති. එවන් හැඟීම් වඩා ඵලදායක හෝ නිෂ්ඵල වන්නේ ආකල්ප ඇති කරගන්නා තැනැත්තාගේ ජීවිත පරිඥානය අනුව ය.

ar0907195-1මේ මෑත දිනෙක, මහාචාර්ය සෙනෙවිරත්න පිළිබඳ ව දිගු කථා බහක් මා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා අතර ඇතිවිණි. සමරනායක මහතා ද මගේ ගුරුවරයෙකි. “අනුරාධ කියන්නෙ, ටිකක් අමුතු ඒ වගේ ම කලාතුරකින් හමුවෙන වර්ගයේ කෙනෙක්. එයාට හිතේ තියන හැම දෙයක් ම කීමේ පිපාසයක් තිබුණා. මිනිහෙකුට බනින්න ඕන නම්, ඒක යටපත් කරගෙන ඉන්න අනුරාධට බෑ. හැබැයි කිසි ම කෙනෙක් ගැන ද්වේශයක් අනුරාධගෙ හිතේ තිබුණෙ නෑ.

නර්මාලාප කියන්න ඒ වගේ රුසියෙක් තවත් නෑ. විශ්වවිද්‍යාලයෙ ආචාර්යවරුන්ගෙ විවේකාගාරයට අනුරාධ ආවොත් එයා වටේට තරුණ කථිකාචාර්යවරු පොදි ගැහෙනවා. හොඳ ඉල ඇඳෙන කතා ගොඩක් අහගන්න පුළුවන් වීම ඊට හේතුවයි. මිනිහෙක් වුණාම මතක හිටින විදිහට ජීවත් වෙන්න ඕනෑ බව නිතර අනුරාධ කිව්වා” යනුවෙන් ඒ කතා බහේදී මහාචාර්ය සමරනායක මා හා සඳහන් කළේ ය.

මහාචාර්ය සෙනෙවිරත්න සිය ජීවිතයේ අවසන් භාගයේදී තමාට දුරකථනයෙන් ඇමතූ බවත් ඒ අනුව තමා මහැදුරු අනුරාධගේ නිවසට ගොස් ඔහු හා කථා කළ බවත්, ජ්‍යෙෂ්ඨ පරිපාලනඥයකු වූ ලීල ගුණසේකර මහතා කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගිය විටකදී හා පැවසීය. අනුරාධ සෙනෙවිරත්න මහතා ඒ කථා කළ ආකාරයේ හැටියට මේසා විගස අභාවප්‍රාප්ත වෙති’ යි තමා නොසිතූ බව ලීල් ගුණසේකර මහතා කණගාටුවෙන් මා හා සඳහන් කළේ ය. මහාචාර්ය සෙනෙවිරත්න යනු ඉතා කලාතුරකින් දැකිය හැකි අයෙකි’ යි ද ඔහු අවධාරණය කළේ ය.

මහාචාර්ය සෙනෙවිරත්න පුද්ගලයන් හා අතිශය හිතවත් වන්නේ ඇතැම් විට ඔවුන් හා ප්‍රණයකලහ ඇති කර ගැනීමෙනි. ප්‍රණය කලහය යනු වඩාත් හැඟුම්බරවන්නට යාමේදී ඇතිවන ගැටුමකි. මේ කාරණයේදී එතුමාගේ පුත් හා මගේ මිත්‍ර උදයන සෙනෙවිරත්න මහතා දක්වන අදහස වැදගත් ය.

“අප්පච්චි ආදරය පෙන්නන්නෙ රණ්ඩු කරගැනීමෙන්. නුවර ඇවිත් ආපසු කොළඹ පිහිටි මගේ නිවසට එන්නට පිටත් වන සමහරදාට අප්පච්චි මම යනවට කැමැති නෑ. තරහ වෙනවා. එහෙම තරහ වුණත් මම කෑගල්ල හරියෙන් යද්දී දුරකථනයෙන් කථා කරන්නෙ ඒ තරහ අමතක කරලා.”

මහාචාර්ය සෙනෙවිරත්න ගේ අභාවය පසුව දැනගන්නට ලැබුණු දෙස් විදෙස් බොහෝ හිතෛෂීහු තම ශෝකය වාචික ව හා ලිඛිත ව දන්වා එවීමට කටයුතු කළහ. මේ මෑත දිනෙක මහනුවර අස්ගිරිය පිරිවෙනෙහි, විශාල උත්සවයක් පැවැත්විණි. ඒ ඇමෙරිකාවේ වසර තිහක් පමණ වෙසෙමින් ග්‍රන්ථකරණයේ යෙදෙන භද්‍රජී මහින්ද ජයතිලකයන්ට හරසර දක්වනු සඳහා ය.

ලිංගික විද්‍යාව, චිත්ත ධර්ම විද්‍යාව මෙන් ම, ගුප්ත විද්‍යාව ආදී විවිධ විෂයයන් පිළිබඳ හසළ දැනුමක් ඇති භද්‍රජි පිළිබඳ දේශන දෙකක් පැවැත්වීම පිණිස මටත් ආචාර්ය දයා අමරසේකරටත් සංවිධායකයන් විසින් ඇරයුම් කරනු ලැබිණි. එහිදී භද්‍රජී සමඟ කෙටි පිළිසඳරක් පවත්වද්දී මහැදුරු සෙනෙවිරත්න ගේ අභාවය ගැන ද මම සඳහන් කළෙමි. ඒ පුවත පිළිබඳ තම ශෝකය පළ කළ භද්‍රජී, ඒ අභාවය සිදුවන කාලයේ දී තමා ඇමෙරිකාවේ සිට එය දැනගත් බව ද දැක්වීය.

මහාචාර්ය සෙනෙවිරත්න සමීප ව ඇසුරු කළ විදෙස් උගත්තු කිහිප දෙනෙක් ද සිය ශෝකය ලිඛිත ව දන්වා එවූහ. ඔවුනතුරින් ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ (Yale University) මහාචාර්ය ඩේවිඩ් ජැක්සන්, ලන්ඩන් හි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මහාචාර්ය ගොම්රිජ්, ලන්ඩන්හි ‘Soas’ ආයතනයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෙඩ්ඩි ආදීහු ප්‍රධාන වෙති.

ඩේවිඩ් ජැක්සන් මහතා සිය ලිපියෙහි අවධාරණය කළේ මහැදුරු සෙනෙවිරත්න කරණ කොට ගෙන දෙස් විදෙස් පාඨකයන්, සිංහල සංස්කෘතියෙහි හා ශිෂ්ටාචාරයෙහි විවිධ හැඩතල දැනගත් බව ය. මහාචාර්ය ගොම්රිජ්් සිය ලිපිය වඩාත් භාවාත්මකව ලියා තුබූ බව පෙනිණි. මහැදුරු සෙනෙවිරත්න වැනි උගතකුගේ අභාවය බලවත් පාඩුවක් වන්නා සේ ම තමාට ඉතා අවංක මිතුරකු ද අහිමි වී යයි ගොම්රිෂ් සඳහන් කළේ ය. ‘ඉධචඵ’ ආයතනයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෙඩ්ඩි එවූ ලිපියෙහි, ඔහුගේ ම වචන කිහිපයක් උපුටා දැක්වීම මෙහිදී මැනවැ යි සිතමි.

“I remember with great respect and effection his energy humour, humanity and incisive ness of mind. His historical and linguistic learning was formidable”

(දැඩි ගෞරවයෙන් හා ස්නේහයෙන් යුතු ව මම ඔහුගේ ශක්තිය, කෙළිකවට බව, මනුෂ්‍යත්වය හා මනසෙහි වූ තියුණු බව සිහිපත් කරමි. ඔහු තුළ වූ ඓතිහාසික හා වාග් විද්‍යාත්මක හැදෑරීම බලවත් විය.)

මේ සියල්ලට අතිරේක ව, සාමාන්‍ය සමාජයේ මිනිසුන් මහැදුරු සෙනෙවිරත්න කළ විෂයයක මෙහෙවර මෙන් ම, චාම් පැවැත්ම පිළිබඳ බහුමාන පෙර දැරිව අදහස් පළ කළ අවස්ථා බහුල ය. මහාචාර්ය වරයාගේ අවමඟුල පැවැත්වෙද්දී නිවසට පැමිණි වයෝවෘද්ධ අයකු දුටු උදයන, ඔහු කවරෙක් දැයි විමැසීය.

“මම කවුද කියල කිව්වට ඔයා දන්නෙත් නෑ. මහාචාර්ය තුමා දන්නෙත් නෑ. හැබැයි මම එතුමා එක්ක කථා කරලා තියනවා. මහනුවර නගරෙදි ඕනෑම මිනිහෙක් හිනා වුණොත්, එතුමා කතා කරනවා. මේක අනික් උගතුන්ගෙ නැති චාම් ගතියක්. එතුමා ලියපු කියපු දේවල් වලින් මේ මහනුවර නගරෙ ඉතිහාසයත්, යටගියාවත් ඔපවත් වුණා” යැයි පැවසූ හෙතෙම, යන්නට ගියේ ය.

ග්‍රන්ථකරණයේ පමණක් යෙදී මනුෂ්‍ය ආශ්‍රයෙන් තොර ව විසූවකු නොවූහ. මහැදුරු සෙනෙවිරත්නයෝ. ඔහු, සිය මරණ මංචකය දක්වා ම සිනාසෙමින්, අන් අයගේ ආශ්‍රය පැතුවෙකි. සැකෙවින් කියතොත් වරක් ඇසුරු කළ අයෙකුට කිසිදා අමතක නොවන මිනිසෙකි.

සාලිය කුලරත්න
අංශාධිපති සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Memorial Foundation

songs banner-011

getsinhala