සෞන්දර්ය පුනර්ජීවනයේ යුග නියමුවා

අද දෘශ්‍ය කලා සහ ප්‍රාසංගික කලා විශ්වවිද්‍යාලය බවට සංවර්ධනය වී ස්ථාපිත ව ඇති මෙරට ප්‍රමුඛතම, උසස්, කලා අධ්‍යයන ආයතනය මෙයට අවුරුදු හතළිහකට පෙර හැඳින්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයීය සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමිනි. එතෙක් පැවති රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලය, රජයේ සංගීත විද්‍යාලය සහ රජයේ නැටුම් විද්‍යාලය, ඒකාබද්ධ කොට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කෙරෙන්නේ, 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුවේ 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුකූල ව කෙටුම්පත් කළ උසස් අධ්‍යාපනික ප්‍රතිපත්තියට අදාළ වූ විශ්වවිද්‍යාල පනත අනුවය.

විශ්වවිද්‍යාලය පද්ධතියට ඈඳීම නිසා සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීත්වය තවදුරටත් හුදෙකලා සටනක තනි වී සිටියේ නැත.

සටන එතනින් නතර වූයේ නැත. සැබෑ අභ්‍යන්තර සටන - එනම්: උසස් අධ්‍යාපනික ප්‍රමිතිය පිළිබඳ සටන - ඇරඹෙන්නේ එතැන් සිට ය. මේ නව හැරවුමෙහි නියමුවා වන්නට විස්මිත බලයක් අතට ගත් තෙදවත් නැණැදුරකු මෙහි සැපත් වන්නේ පේරාදෙණි සරසවියෙනි.

සරච්චන්ද්‍ර නම් වූ යුගපුරුෂ ගුරුදේවයාණන් නිසා බැබළුණු පිරිපුන් ශිෂ්‍ය රත්නයක් වූත්, තම ප්‍රභා රශ්මියෙන් පෙරළා ගුරුදේවයන් බැබළවූ සුපතළ නැණ පහනක් වූත් අනුරාධ සෙනෙවිරත්නයෝ තම කීර්තිය සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නව යුගය බැබළවීම සඳහා යොදාගත්හ. සෙනෙවිරත්නයෝ සිය ප්‍රමුඛ විෂය ක්ෂේත්‍රය වූ සිංහල භාෂාවට අතිරේක ව ඉතිහාසය, පුරාවිද්‍යාව සහ බෞද්ධ සංස්කෘතිය යනාදි විෂය ගණනාවක් පිළිබඳ හසළ බුද්ධිමතෙක් වූහ. ශාස්ත්‍රීය අංශයෙහි මුල්පෙළ විශාරදයකු වූ ලෙසින් ම ගීත රචනා සහ වෙනත් කලා දායකත්වයන් නිසා ඔහු වටා ගොඩනැඟී තිබූ ආලෝකය, සෞන්දර්යාත්මක නොවූ අන්ධකාරයක සිර වී සිටි ගුරු - ශිෂ්‍ය දෙපක්ෂයට ම බලාපොරොත්තුවේ නවෝදයක් වූ බව රහසක් නො වේ.

නව පරිවර්තනයකට ලක් වූ උසස් කලා අධ්‍යාපනික මර්මස්ථානයක මින් පෙර නොවූ විරූ පරිපාලන කටයුතු පිළිබඳ සාවධාන ව සැලසුම් සකස් කරන්නටත්, ඒ සියල්ල මැද අඛණ්ඩ ව කරගෙන ගිය ශාස්ත්‍රීය පර්යේෂණ සහ කලා කටයුතු සඳහා හිත යොමු කරන්නටත් අනුරාධ සෙනෙවිරත්නයන් අතින් ඉටු වූ මහා මෙහෙවරට හැකි විය.

ලලිත කලා උසස් අධ්‍යයනය සඳහා ජාතික මට්ටමින් පැවති උපරිම සහ එක ම ආයතන පද්ධතිය වූ චිත්‍ර, සංගීත සහ නැටුම් යන ආයතන එතෙක් පාලනය වූයේ මෙරට නූතන කලා ඉතිහාසයෙන් වාර්තාගත වූ අපූරුතම දෛවෝපගත පිහිටීමකට අනුව ය. එනම් එකල‍ දේශීය කලා ක්ෂේත්‍රය බැබළවූ අග්‍රගණ්‍ය යුග පුරුෂයන් තිදෙනකු මේ ආයතනවල මුලසුන් හෙබවීම වේ. මහගමසේකර චිත්‍ර අංශයේත්, අමරදේව සංගීත අංශයේත්, පණීභාරත නැටුම් අංශයේත් එක ම කාලයක පාලන අධිපතියන් වී සිටීම යනු දුබල සරසවි වරමක සුසංයෝගී පිහිටීමක් බව අවිවාදාත්මක ය. ඒ මෙහි නිල සරසවි වරමට පෙර සමය යි.

අනුරාධ සෙනෙවිරත්නන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධිපති ධුරයට පත් ව එද්දී මේ ත්‍රිමූර්තිය තවදුරටත් එලෙසින් ම නොපැවතිණි. කලාකරුවකු තරමට ම උත්තම ගණයේ මිනිසකු ලෙස ගුරු සිසු සැමගේ දැඩි ආදරය දිනා සිටි මහගමසේකරයන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙනත් ඉහළ තනතුරක් ලබා මාරු වී යෑම හේතුවෙන් සමස්ත ආයතන පද්ධතියට ම දැනෙන්නට වූයේ නොමැකිය හැකි පාළුවකි. එහෙත් ඒ සිත් පාළුව සුව කෙරෙන ඔසු බලයක් අනුරාධ චරිතයෙහි තිබීම සැමගේ ම පිනක් විය. මහගමසේකරයන්ගෙන් පසු චිත්‍ර අංශයේ වැඩ බැලීමට පත් වූයේ ද සේකරයන්ට පසු අවධියේ ගීත ක්ෂේත්‍රයෙහි නමක් රැන්දූ ප්‍රකට ගීත රචකයකු ව සිටි පියසේන කෝස්ත මහතා ය. ගීත මෙන් ම චිත්‍ර අංශයෙන් ද සේකරයන්ට වඩා පැරණි ගුරුකුලයට නෑකම් කී නමුදු කෝස්ත මහතා මුලින් පැවති ත්‍රිමූර්ති සුසංයෝගයේ ජීව ගුණය නොබිඳ අනුරාධ මෙහෙවරට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ නිහතමානී ගුරු පි‍යෙක් විය. එබැවින් කිසිදු ආගන්තුක බවකින් තොර ව, සෞන්දර්ය ඉදිරි ගමනේ නඩේගුරා වීමට අනුරාධ සෙනෙවිරත්නයන්ට පහසු වූවා පමණක් නො ව, ආචාර් මණ්ඩලයේ සියලු ජ්‍යේෂ්ඨයන්ගේද ආශීර්වාදය ගැනීමෙන් සිය ගමනාන්තය දක්වා බාධාවන්ගෙන් තොර ව යෑම සහතික කරගැනීමටද හැකි විණි.

ඇස්පනා පිට ම පෙනෙන්නට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න රාශියක් පැවතිය ද සෙනෙවිරත්නයන්ගේ ප්‍රමුඛ අවධාන යොමු වූයේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අතිමහත් භාරධුර වගකීමට ය. එනම්: ත්‍රිවිධ ආයතනයන්ට අදාළ වූ විෂයානුබද්ධ ශාස්ත්‍රීය සංවර්ධනය යි. මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සියලු සිසුන්ගේ ඒකමතික ඉල්ලීම වූයේ ද උපාධිය සඳහා යෝග්‍යතා ලබන නව අධ්‍යාපන වැඩපිළිවෙළ මඟින් අන් විශ්වවිද්‍යාලයන්ගේ ප්‍රමිතිය හා සැස‍ඳෙන තත්ත්වයෙන් සෞන්දර්ය අධ්‍යයන ආයතනය උසස් සංවර්ධනයක් කරා මෙහෙයවීම යි.

අලුත් සිසුන් බඳවාගැනීම තාවකාලික ව අත්හිටුවිණි. තුන්වන වසරේ සිටි ශිෂ්‍යශිෂ්‍යාවන් දෙවන වසරට ආපස්සට ගෙන අලුත් ශාස්ත්‍රීය පාඨමාලාවකට අනුයුක්ත කෙරුණේ පොදු විශ්වවිද්‍යාල ප්‍රමිතීන්ගේ නිර්ණායකයන්ට සමගාමී වූ විෂයානුබද්ධ න්‍යායික ඥානයෙන් අධිසත්කාරක පෝෂණයක් සපයනු පිණිස ය. ප්‍රායෝගික විෂය පුහුණුව සිරිත් පරිදි සිදු කෙරෙන අතරේ ම සෛද්ධාන්තික හා න්‍යායික දැනුම පුළුල් කිරීම සඳහා අඛණ්ඩ දේශන මාලාවක් අවුරුද්ද පුරා ම පැවැත්විණි. එහි දී සම්පත්දායකයන් වූ සම්භාවනීය විශ්වවිද්‍යාලයීය ආචාර්ය - මහාචාර්ය පිරිස මෙන් ම පිළිගැනීමකට ලක් ව සිටි කීර්තිමත් කලාකරුවන් සහ විවිධ විද්වතුන්ගේ සහභාගීත්වය ආචාර්ය සෙනෙවිරත්නයන්ගේ පෞද්ගලික සම්බන්ධීකරණය ඔස්සේ ම සිදු වූ බව අවධාරණයෙන් සඳහන් කළ යුතු වේ. ඔහුගේ ආරාධනයට අහක බැලූ කිසිවකු සිටියේ නැත. සියලු ශාස්ත්‍රීය විශාරදයන් පැමිණියේ ඉතා කැමැත්තෙනි. ඔවුහු ද වෙනත් විදියක අලුත් සිසු පිරිසකට උගන්වන්නට ලැබීම ආස්වාදනීය අත්දැකීමක් බවට පත් වූ බව මුව පුරා කියා සිටියහ. එය අනුරාධ සෙනෙවිරත්න යන නාමයෙහි පැවති අනුහස ම මිස අනෙක් ආකර්ෂණයක් නො වේ. මෙලෙස සෞන්දර්යයේ ප්‍රථම උපාධිධාරීන් කණ්ඩායම බිහි කිරීමේ දී ඔවුන් වෙත අද්විතීය ඥාන පෝෂණයක් ලබා දීම සඳහා මෙන් ම සෞන්දර්ය විෂය විශ්වවිද්‍යාලයීයකරණයේ දී ඔහු කළ මෙහෙවර තවත් අධිපතිවරයකුට සම කළ නොහැකි විප්ලවීය කාර්යභාරයකි.

ශාස්ත්‍රීය විශාරද්තවයත්, පරිපාලනමය කෘතහස්තභාවයත් එක හා සමාන ව පිහිටි අතිදක්ෂ අසාමාන්‍ය පුද්ගලයකු ලෙස අනුරාධ සෙනෙවිරත්නයන්ට හිමි වන්නේ අසාමාන්‍ය තැනකි. ඔහු කටු ඔටුන්න මල් ඔටුන්නක් කර ගත්තේ ය. පඬුපුල් අසුන සිසිලසින් ම තබා ගත්තේය. දැළි පිහියෙන් කිරි කනවා වෙනුවට දිනපතා සිසු දරුවන්ට සිප් කිරි පෙවීම තම දිනචරියාවට ඇතුළත් කර ගති. ඔහුගේ කරුණාබර සිත පරිපාලනමය ගැටලුවලින් තෙරපී නොතිබුණු බවට හොඳ ම උදාහරණයක් නම් ඔහු ඉතා ළයාන්විත වූ කැපවීමකින් දෙසතියකට වරක් මෙහෙය වූ “ගීයක රස” නම් වූ ගුවන් විදුලි වැඩසටහනයි. ඔහු ජීවිතය විඳිමින් ජීවත් වූවෙකි. එබැවින් ඔහු සැමට ම ප්‍රියමනාප විය.

“... ශිෂ්‍ය සංගම් නායකයෝ නිරන්තර ව ම අධිපති සුවසුන් ගිනියම් කරන්නෝ වෙති...” එදා අපේ සිනමා ගුරුවරයා වූ තිස්ස අබේසේකරයන් සෞන්දර්ය ශිෂ්‍ය නායකයන් ගැන කීවේ එවැන්නකි. අනුරාධ සමයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස ලෙස වරින් වර උණුසුම් වූ මා, වහා සිසිල් කිරීමේ කරුණා ගුණයෙන් යුතු වූ ඔහු, එක් සවස් යාමයක ගුවන් විදුලි සංස්ථාව වෙත කැඳවාගෙන ගියේ “ගීයක රස” විඳින්නට ය. මඩවල එස්. රත්නායක මහතා නිෂ්පාදනය කළ ඒ වැඩසටහන සීමා වී තුබුණේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වය සඳහා පමණි. එහෙත් අනුරාධයන් විසින් මා වැනි නන්නාඳුනන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු තම වැඩසටහනට සහභාගි කරගනු ලැබ සම අසුන් පැනවීම යනු, ගුත්තිල මානසිකත්වයෙන් තොර ව, ශිෂ්‍යකේන්ද්‍රීය ඇසින් මූසිලයන් දෙස බැලූ උත්තම ගුරු චරිතයක් ඔහු තුළ සහජයෙන් ම පැවති බවට සුළු උදාහරණයකි.

සාමූහික සමාජ ක්‍රියාකාරකම් තුළදී ප්‍රජාතන්ත්‍රවාදීව භාවිතයට ගැනිය යුතු සාධකයක් හෝ මූලධර්මයක් ලෙස “සහභාගිත්වය” යන සංකල්පය විවිධ ක්ෂේත්‍ර තුළ දී අද බහුල ව සාකච්ඡා කෙරේ. එය ජනප්‍රිය ලෙස සමාජගත වීමට දශක හතරකට පෙරදී සහජ ඥානයෙන් ක්‍රියාවට නැංවූ විශ්වවිද්‍යාල පරිපාලකයකු ලෙස ආචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ වැඩ කොටස වාර්තාගත විය යුතු වේ. හෙතෙම සිසුන් සතුරන් ලෙස නොසලකා ඔවුන් ද අදහස් හා යෝජනාවලින් පිරුණු සිත් ඇති පුද්ගලයන් කොටසක් සේ සලකා පරිපාලනයේ දී සිසු නියෝජනයට විශාල ඉඩකඩක් ඇති කර දීම සඳහා ශිෂ්‍ය සංගම් සම්බන්ධ කර ගත්තේය. නිසගයෙන් ම ඔහු තුළ වූ මානව ගුණයක් ලෙස ගුරු සිසු දූරස්ථභාවය දුරු කර සිසු දරුවන් සමීපයේ ම සිටි අනුරාධයන් සැබවින් ම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනඥයකු ලෙස හඳුනාගත හැකි ය.

එදා ආචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ පුරෝගාමීත්වයෙන් දොරගුළු හැර නිම් වළලු පුළුල් කළ සෞන්දර්ය අධ්‍යයන ආයතනය අද හතළිස් අවුරුද්දකට පසු, අංගසම්පූර්ණ ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට ලොකු මහත් වී ඇත. ඔහුගේ යුගයේ පළමු උපාධිධාරී කණ්ඩායමින් බිහි වූ අතිදක්ෂයෝ ඉහළ ම තැන්වලට ද පත්ව සිටිති. අනුරාධ සෙනෙවිරත්න නම් වූ මහාචාර්යවරයාගේ උත්තම මෙහෙවර ඒ අද්විතීය මානව සම්පත බිහි වීම පිළිබඳ පදනම යි. අද නව ශිල්ප ශාස්ත්‍රීය විශ්ව යුගයක් කරා පියනඟා ඇති දෘශ්‍ය සහ ප්‍රාසංගික කලා විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි ආලෝකවත් ම පරිච්ඡේදය අනුරාධ සෙනෙවිරත්න යුගය බව අතිශයෝක්තියෙන් තොර සත්‍යය බව කිව යුතු වේ.

උපාලි මුල්ලේගම හේරත්

Memorial Foundation

songs banner-011

getsinhala