අනුරාධ සෙනෙවිරත්න හා සංස්කෘතික අනන්‍යතාව

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න දශක හතරක පමණ දීර්ඝ කාලයක් තුළ මේ දීර්ඝ ප්‍රවා‍හයේ ඉතා නිහඬ ව සිය ගැඹුරු සේවාව ඉටු කළ පඬිවරයෙක් විය. සිංහල භාෂා සාහිත්‍යයට අමතර ව සිංහල වාග් විද්‍යාව, පුරා විද්‍යාව හා ඉතිහාසය, මානව විද්‍යාව හා සමාජ විද්‍යාව ආදි විවිධ විෂයයන් ඔස්සේ අනුරාධ සෙනෙවිරත්න තැත් කළේ අපගේ සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්වීමටය.

හැත්තෑවකට අධික ග්‍රන්ථ සංඛ්‍යාවක කර්තෘවරයා වන සෙනෙවිරත්නයෝ සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධ අංග පිළිබඳ ව සවිස්තරාත්මක කථනයන් කිරීමේ අපූරු කුසලතාවකින් හෙබි විද්වතෙක් වූහ.

සියවස් හතරහමාරක පමණ වූ යටත්විජිත පාලනයෙන් හා බලපෑමෙන් මිදෙත් ම පැනනැඟුණු බලවත් ජාතික අවශ්‍යතාවක් වූයේ අපගේ ජාතික අනන්‍යතාව නැවත සොයාගැනීම හා එය ගොඩනඟා ශක්තිමත් කරලීම ය. සැබැවින් ම මේ අවශ්‍යතාවේ සලකුණු මතු වන්නට වූයේ නිදහස ලබන්නට අඩසියවසක් පමණ වූ කාලයකට පෙර සිට ම ය. මේ අනන්‍යතා කුතූහලය හා අවශ්‍යතාව ක්‍රමයෙන් පැතිරී ගොස් ජාතික ප්‍රවාහයක් බවට පසු කාලීන ව පත් විය. මේ ප්‍රවාහය එහි ගති-ලකුණු අනුව ප්‍රධාන උපප්‍රවාහයන් දෙකක් ලෙස දැකිය හැකි විය. ඉන් පළමු වැන්න සාහිත්‍ය කලා හා සංස්කෘතික පදනමකින් යුතු වූ අතර දෙවැන්න සමාජ දේශපාලනික ස්වරූපයකින් යුතු විය.

කලා ශිල්පීය හා තාක්ෂණික දෘෂ්ටිකෝණයකින් සිංහල බෞද්ධ අනන්‍යතාව විභාග කළ පළමුවැන්න ලෙස දැකිය හැක්කේ ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් පර්යේෂණ කාර්යයෙහි යෙදුණු, සිංහලයකු නොවූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි පඬිවරයා යි. සිංහල බස හෙළි පෙහෙළි කළ කුමාරතුංග මුනිදාස ශූරීන් මේ ප්‍රවාහයේ ප්‍රබලතමයකු වූ අතර, අපගේ අනන්‍යතාව පිළිබඳ පුළුල් ව විවරණයක යෙදුණ දැවැන්තයා මාටින් වික්‍රමසිංහයෝ ය. සෙනරත් පරණවිතාන පඬිවරයාණන් නොයෙකුත් ශාස්ත්‍රීය පොතපතින් පර්යේෂණ හා ලිපි එකතු මඟින් පෙන්වා දුන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විවිධ බලපෑම් යටතේ විකාශනය වූ ආකාරයයි. සීගිරි ගී පිළිබඳ ඔහු කළ විවරණය අප ජනහදවතේ මූලික කරුණු විදහා දැක්වීය. ලන්දේසි සම්භවයක් සහිත වූ ආර්. එල්. බ්‍රෝහියර් පඬිවරයා ද ජාතික අනන්‍යතා ව්‍යාපාරයේ ප්‍රබලයෙක් විය. හෙළ වාරි කර්මාන්තය ඇසුරේ අප ප්‍රජාව සංවිධානය වූ ආකාරයන් අපගේ ප්‍රධාන නිෂ්පාදන කාර්යය වූ වී ගොවිතැන සඳහා ඒ තාක්ෂණය ඉවහල් වූ ආකාරයත් සවිස්තරාත්මක ව විග්‍රහ කොට අප සංස්කෘතිය තුළ වාරි කර්මයට හිමි තැන පෙන්වා දුන්නේ බ්‍රෝහියර් මහතා ය.

අප කලින් සඳහන් කළ දෙවන උපප්‍රවාහය වූ සමාජ-දේශපාලන ප්‍රවාහයේ නියමුවා වූයේ අනගාරික ධර්මපාල තුමාණෝ ය. එතුමන්ගේ සමාජ දේශපාලන ව්‍යාපාරය විකාශනය වී පසු කලක දේශපාලනික වශයෙන් සිය අනන්‍යතාව සෙවීම සඳහා ජනතාව මෙහෙයවූ ජනතා ව්‍යාපාරයක් වූ සැටි ගුණදාස අමරසේකර ශූරීන් සිය නිබන්ධනයෙන් විග්‍රහ කොට ඇත.

1948 දී ලැබූ නිදහසින් පසු අනන්‍යතා ව්‍යාපෘතින් තවදුරටත් තීව්‍ර වූ අතර, වික්‍රමසිංහයන්ට අමතර ව එදිරිවීර සරච්චන්ද්‍රයෝ ද මෙහි ලා මහඟු කාර්යයක් ඉටු කළෝය. ඩබ්ලිව්.බී. මකුලොළුව හා පණ්ඩිත් අමරදේව සිංහල සංගීතය මඟින් මේ කාර්යයට උර දුන් තවත් දෙදෙනක් වූහ.

මීට අමතරව මේ අනන්‍යතා සෙවීමේ ව්‍යාපාරයේ තවත් ප්‍රධාන ලකුණක් වූයේ ඒ පිළිබඳ ව ඇති වූ සංවාද කතිකා හා ආවේගශීලි වාද-විවාදය. දශක ගණනාවක් පුරා සෑහෙන සංඛ්‍යාවක් කලාකරුවන් හා විද්‍යාර්ථීන් හමු වූ ඒ විදග්ධ සභා තුළ කැපීපෙනෙන දෙදෙනක් නම් ආචාර්ය ගුණදාස අමරසේකර හා මහාචාර්ය නලින් ද සිල්වා යන පඬිවරු ය.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න දශක හතරක පමණ දීර්ඝ කාලයක් තුළ මේ දීර්ඝ ප්‍රවා‍හයේ ඉතා නිහඬ ව සිය ගැඹුරු සේවාව ඉටු කළ පඬිවරයෙක් විය. සිංහල භාෂා සාහිත්‍යයට අමතර ව සිංහල වාග් විද්‍යාව, පුරා විද්‍යාව හා ඉතිහාසය, මානව විද්‍යාව හා සමාජ විද්‍යාව ආදි විවිධ විෂයයන් ඔස්සේ අනුරාධ සෙනෙවිරත්න තැත් කළේ අපගේ සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්වීමට ය. හැත්තෑවකට අධික ග්‍රන්ථ සංඛ්‍යාවක කර්තෘවරයා වන සෙනෙවිරත්නයෝ සිංහල බෞද්ධ සංස්කෘතියේ විවිධ අංග පිළිබඳ ව සවිස්තරාත්මක කථනයන් කිරීමේ අපූරු කුසලතාවකින් හෙබි විද්වතෙක් වූහ. අනුරාධපුරය, පොලොන්නරුව හා මහනුවර යුගයන් ඔහුගේ අධ්‍යයනයට අසු වූ පුළුල් විෂය ක්ෂේත්‍ර විය. ඔහුගේ කැපීපෙනෙන විශේෂඥතාවක් වූයේ මේ යුග සාර්වදෘෂ්ටියකින් දැක විග්‍රහයේ යෙදීමට මෙන් ම ඒවායේ නොයෙකුත් අංගයන්ගේ ක්ෂුද්‍රමය විස්තරයන් හෙළි කොට දැක්වීමත් ඔහු තුළ තිබූ කදිම හසළතාවයි. උදාහරණයක් ලෙස මහනුවර යුගයේ සිංහල බෞද්ධ සංස්කෘතිය සාර්වදෘෂ්ටියකින් මැනවින් ග්‍රහණය කරගෙන සිටි සෙනෙවිරත්නයන්ට ප්‍රියතම වස්තුවක් වූයේ දළදා මැඳුර හා ඒ ආශ්‍රිත සංස්කෘතික අංග ලක්ෂණ යි. ඔහු ඒවා කොතරම් ගැඹුරින් හා සවිස්තරාත්මක ව අධ්‍යයනය කළේ ද කිව හොත් දළදා මාලිගාව හා පෙරහර පිළිබඳ ව සෙනෙවිරත්න ශූරීහු අධිකාරයක් පවත්වාගෙන සිටියහ.

මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ ශාස්ත්‍රීය කටයුතුවලින් හෙළි වන තවත් වැදගත් ලක්ෂණයක් නම් හින්දු ධර්මය හා හින්දු සංස්කෘතිය කෙරෙහි ඔහුගේ වූ අතිමහත් ගෞරවයයි. අපගේ ජාතික අනන්‍යතාව ගවේෂණයේ යෙදුණු සිංහලයන් අතුරින් ඔහු ප්‍රමුඛයකු වුව ද ඔහුගේ නිබන්ධ කිසිවක් කිසි ම විටක වත් පක්ෂග්‍රාහී, ජාතිකවාදී ඒවා නොවීම එතුමාගේ ශාස්ත්‍රීය චරිතයේ මහඟු ම ලකුණක් විය. වයස අවුරුදු දහසය තරම් ළාබාල වියක දී උපනිශද් දර්ශනය පිළිබඳ ව පොතක් ලිවීමට තරම් හැකියාවක් තිබූ සෙනෙවිරත්නයෝ හින්දු ධර්මයෙන් හා සංස්කෘතියෙන් අප සංස්කෘතිය පෝෂණය වූ අයුරුත් ඒ සංස්කෘති දෙක අතරේ වූ සමීප සම්බන්ධතාවත් පිළිබඳ ව ඉතා හොඳින් අවබෝධ කොටගෙන සිටියහ. වත්මන් අනන්‍යතා කථිකා තුළ දැකිය හැකි ප්‍රධාන කරුණක් වන්නේ ජාතිකවාදී නැඹුරුවයි. පක්ෂග්‍රාහී ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය හුවා දක්වන ඇතැමුන් ඒ මඟින් සංස්කෘතියට හා එහි අනන්‍යතාවට කරන්නේ සේවයක් නොව, හානියකි! ද්‍රවිඩ විරෝධි ජාතිකවාදී පුද්ගලයන්ගේ අසමබර හා වැරැදි විග්‍රහ පසුගිය දශක කීපය තුළ සිදු වූ අතිශය හිංසාකාරි සිදුවීම්වලට සෑහෙන දුරකට පසුබිම සැදුවේ යැ යි පැවසීම වැරදි නො වේ. මේ මඟින් හෙළි වන යථාර්ථය වනුයේ ජාතික හා සංස්කෘතික අනන්‍යතාව සොයන ශාස්ත්‍රඥයන් අප සංස්කෘතියට බලපෑ වෙනස් සංස්කෘති ඉවසීමට පුරුදුපුහුණු විය යුතු බව යි. එවැනි ප්‍රවේශයකින් වඩා බලගතු ජාතික සංහිඳියාවක් බිහි කරගත හැකි වනවා පමණක් නො ව, අපගේ සංස්කෘතික යථාර්ථයට එමඟින් සාධාරණය ඉටු කිරීම ද සිදු වේ. අනුරාධ සෙනෙවිරත්යෝ මෙහි දී ප්‍රමුඛයෙකි. හින්දු ධර්මයේ හා සංස්කෘතියෙන් අපට සිදු වූ මෙහෙය පිළිගැනීමට බිය නොවූ ඔහු එමඟින් අප සංස්කෘතිය වඩාත් පොහොසත් වූ ආකාරය නිවැරැදි ව දැකගත්තේ ය. අද අපට අවශ්‍ය ව ඇත්තේ සෙනෙවිරත්නයන් අනුදත් ප්‍රවේශය අනුගමනය කිරීමට බිය නොවන නව ශාස්ත්‍රීය පරපුරකි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් සිය ශාස්ත්‍රීය දිවිය ගත කළේ හුදෙකලා පඬිවරයකු ලෙස යැ යි කිව හොත් නිවැරැදි යැ යි සිතමි. ඔහු ශාස්තෝද්ග්‍රහණයෙහි යෙදුණු වෙනත් විද්‍යාර්ථීන් බොහෝ දෙනකු පෞද්ගලික මට්ටමකින් ඉතා සමීප ව ඇසුරු කළ අයෙකි. මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එම්.බී. ආරියපාල, මහාචාර්ය සෙනරත් පරණවිතාන ඔහුගේ සමීපතම ඇදුරෝ වූහ. විශාරද අමරදේවයෝ, මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ සමීපතම මිතුරෝ වූහ. එතෙකුදු ඔහු කිසිදු ශාස්ත්‍රීය ගුරුකුලයකට අයත් නොවූ නිදහස් මතධාරියෙක් විය. එසේ ගුරුකුලයකට ‍ගැති නොවීම නැත හොත් හුදෙකලා ශාස්ත්‍රඥයකු වීම බොහෝ විට ශාස්ත්‍රීය වශයෙන් කොන් වීමටත් ගුරුකුල සාමාජිකයන්ගේ ව්‍යාජ හුවා දැක්වීම් හා අනුග්‍රහය නොලැබීමටත් හේතු වූ කරුණු විය.

අද අප සමාජයට මුහුණ පෑමට සිදු වී ඇති ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයක් නම් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් වැනි බහුවිධ ක්ෂේත්‍ර තුළ ශාස්ත්‍රය ප්‍රගුණ කළ විද්වතුන් බිහි වීමේ ලකුණු මඳ වීම යි. පෙරදිග භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍ය කලා ද පෙර-අපර දෙදිග දර්ශනවාදයන් ද ඉතිහාසය හා පුරාවිද්‍යාව වැනි විෂයයන් ද වෙළෙඳපොළ වටිනාකමින් තොර වීම හේතුවෙන් ඒ ක්ෂේත්‍රයන්ට පිවිසෙන තරුණ විද්වතුන් සංඛ්‍යාව ඉතා අවාසනාවන්ත ලෙස හීන වී ගොස් ඇත. ජාතියක භෞතික සංවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් ඒ රටෙහි හෝ ජාතියෙහි සැබෑ දියුණුවක් සිදු වේ ද? වෙළෙඳපොළ වටිනාකමින් පමණක් සමන්විත වන ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමෙන් පමණක් සංස්කෘතියක් ගුණාත්මක වශයෙන් වර්ධනය වනු ඇත් ද? සංස්කෘතික වශයෙන් මහ ගන අඳුරක් අප අබියස හොල්මන් කරනු දැකීම වත්මන් සමාජය මුහුණ පා ඇති බලවත් අභාග්‍යසම්පන්න සිදුවීමකි. ඕනෑ ම රජයක වගකීමක් වනුයේ එවැනි ශාස්ත්‍රීය පුනරුදයක් සඳහා වන මං-මාවත් හෙළි-පෙහෙළි කිරීම ය. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ සේවාව අගයන මෙසමයෙහි ඔහුගේ සංස්කෘතික මඟපෙන්වීම නොමඳ ව ලද රජයේ හා විපක්ෂයේ දේශපාලනඥයන් එවැනි මැදිහත් වීමක් කෙරෙහි යොමු වෙතැයි බලවත් ශාස්ත්‍රාලයෙන් යුතු ව ප්‍රාර්ථනා කරමු.

සතිස් ද මැල්

Memorial Foundation

songs banner-011

getsinhala