මිහින්තලාවේ බෞද්ධ උරුමය

සිංහල ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි.  අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුන්ගේ දහම් පණිවිඩය ගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව ජීවත්වීම උදෙසා සිංහලයන්ට නව ජීවන මාර්ගයක් මෙන්ම දර්ශනයක් ද හිමි වූයේ ය.  එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඪවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මග ඇරඹුණේය.

 

මෙය මනාව වංශ කථාවේ සුවිශේෂ සිද්ධියකි.  එම අසිරිමත් සිදුවීම හේතු කොට ගෙන ශී‍්‍ර ලංකාවේ ථෙරවාදී බුුදුදහමේත්, බෞද්ධ ශිෂ්ටාචාරයේත් කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ ය.  මේ පිළිබඳ පූර්ණ ගෞරවය දඹදිව අශෝක මහා අධිරාජයාණන්ගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට නොමඳව හිමි වෙයි. 

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ දීපවංශය, මහාවංශය මෙන්ම සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ ද කරුණු සඳහන් වෙයි.  බුදුසසුන බබුලුවාලු මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ එදා පැළලුප් නුවර ධර්මාශෝක මහා අධිරාජයාණන්ගේ අනුග‍්‍රාහයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංගායනාව නිමවා මතු කාලය බලන සේක් ප‍්‍රත්‍යන්ත ජනපදයන්හි සසුන් පිහිටන බැව් දැන වප් මස් හි ඒ ඒ තෙරුන් ඒ ඒ ජනපදයට යැවූ සේක.  ඒ අනුව මහ මිහිඳු හිමියන්ය, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්‍රසාල යන ස්වකීය සද්ධිවිහාරික ස්ථවීර පස්දෙනා තෙපි ගොස් මනොඥ වූ ලක්දිවෙහි බුදු සසුන් පිහිටුවයි පිටත් කළ සේක.  වේදිස නම් වෙහෙර වැඩ හිඳ පොසොන් පුණු පොහෝ දවස් හි ස්ථවිර තෙමේ තෙරුන් සතර දෙනාය සුමන සාමනේරය, භණ්ඩුක නම් ඒ අනාගාමී කුමාරයාය යන මොවුන් හා කැටිව නෑයන් බලා නො ඇලුණු සේක් ඒ විහාරයෙන් අහසට නැගී මහා සෘද්ධී ඇතිව ක්ෂණයකින් ම මෙහි වැඩ සිත්කලු මිස්සක පර්වතයෙහි පියල් කුළ උතුම් රුචිර අඹ තලයෙහි වැඩ සිටි සේක.

එදා ලක්දිව මහා නැකැත් කෙළියකි.  මෙහි රාජ්‍ය විචාළ දෙවන පෑතිස් රජ නුවර වැසියන්ට දිය කෙළි විධාන කොට තෙමේ මුව දඩ කෙළිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය.  රජුට තෙරණුවන් හමුවූයේ එවිට ය.

මහා රජාණනි, අපි ධර්මරාජයාණන් වූ බුදුන් සව් ශ‍්‍රමණයම්හ.  තොපට අනුකම්පා පිණිස ම දඹදිවින් මෙහි ආම්හ.  මිහිඳු මහ රහතන් වහන්සේගේ බස් අසා රජ තෙමේ පහ වූ බිය ඇතිව තම යහළු ධර්මාශෝක මහරජුගේ හසුන් මෙනෙහි කොට ශ‍්‍රමණයෝයි විනිශ්චය කරන ලද්දේය.  දෙදෙනා අතර වූ කෙටි පිළිසඳරකින් පසුව මහනුවණැති ස්ථවීර තෙමේ රජු පණ්ඩිත යයි දැන රජහට චුලහත්ථිපදොපම සූත‍්‍රය දේශනා කළ සේක.  දේශන කෙළවර ඒ රජ තෙමේ හතලිස් දහසක් පිරිස සමග තිසරණ ශීලයෙහි පිහිටියේ ය.  රජුගේ ඇරයුමින් පසුදා අනුරාධපුර අගනුවරට වැඩි ධර්ම¥තයන් වහන්සේට රාජකීය පවුලේ සෙසු සාමාජිකයන්ද මුණගැසුණි.  රජුගේ මහානාග නම් මල් යුව රජුගේ මෙහෙසිය වූ රජගෙයිම වසන අනුලා බිසව පන්සීයක් ස්තී‍්‍රන් කැටුව තෙරුවන් වෙතින් පෙතවත්ථු  විමානවත්ථු හා සච්ච සංයුක්තය අසා ප‍්‍රථම ඵලයට පැමිණියා ය.  පසුදා තෙරණුවෝ නුවර වැසියන්ට දේවදූත සූත‍්‍රය වදාරා පහන් කළහ.  උන් අතුරෙන් දහසක් ප‍්‍රාණී වූ සෝවාන් ඵලයට පැමිණියෝ ය.  නුවර මිනිස්සු මනරම් වූ නන්දන රජ උයන්හි තෙරුන් වහන්සේලාට අසුන් පැනවූහ.  එහි රැස්වූ සියලු දෙනාට බාලපණ්ඩිත නම් සූත‍්‍රාන්ත ධර්ම දේශනාව දේශනා කළ සේක.  ඉක්බිත්තෙන් ස්ථවිරයෝ එම පර්වතයටම යම්හ. යි.  නික්මුණහ.  පර්වතය දුරය.  දැන් සවස් කාලයයි.  මෙහිම රැුඳෙන මෙන් රජුගේ ආරාධනා ලැබීය.  නුවරට ආසන්න වූ බැවින් නන්දන උයන පිළිගැනීම වෙනුවට ඉතා නුදුරු නොළංතැන සිත්කලු නූ මහමෙව්නා උයනෙහි රම්‍ය වූ රාජ මන්දිරයෙහි එදින නවාතැන් ගැනීමට උන්වහන්සේ එකග වූ සේක.  නැවතී සිටි එතැන කොළොම් ඔය සමීපයෙහි කරවන ලද සෑය නිවන්තක චේතිය යැයි පසුව නම් ලැබීය.  රජතුමා මහමෙවිනා උයන මහ සඟනට පූජා කළේය.  තුන්වන දිනයෙහි නඳුන් වනයෙහි (නන්දන වන) වැඩහිඳ උන්වහන්සේ බුද්ධ ශාසනය මෙහි පිහිටුවීමට නම් උපෝසථාදී කර්මයන් සිදු කළ යුතු බැවින්, බුද්ධාඥාවෙන් සීමාවක් බැඳීම පිණිස රජුගේ අවධානය යොමු කළ සේක.  උපදෙස් පරිදි සිව්වන දිනයෙහි රජතුමා රන් නඟුලක් ගෙන එතැන් පටන් සාමින් සීමාවක් බන්ධනය කොට සමාප්ත කළේය.  හත් දිනක් ඉක්මුණු සඳ අටදහස් පන්සියයක් මනුෂ්‍යයන් මාර්ග ඵලාවබෝධ කරවා උන්වහන්සේ නඳුන් උයනෙහිම විසූ සේක.  ශාසනය බැබළවූ ස්ථානය එම හේතුවෙන් ම ජෝතිවන යයි නම් ලැබී ය.

පසුව මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ සියලු සංඝයා වහන්සේ සවිසි දිනක් මහමෙවුනා වන උයනෙහි වාසය කළ සේක.  ඉන්පසු එළඹුණු ඇසල මස අව තෙළෙස්වක දවස් හි රජ ගෙයි වළඳා මහරජ හට මහා ප‍්‍රමාද සූත‍්‍රාන්තය දේශනා කොට චේතිය පබ්බත යැයි පසුව නම් ලත් මිස්සක පර්වතයෙහි විහාරකරණයක් කැමති වෙමින් පෙර දිගින් නික්ම සෑගිරියට වැඩි සේක.  තෙරුන් එහි වැඩි බව අසා රජතුමා ද එතුමන් පසුපස ගියේ ය.  වස්වැසීම පිණිස පැමිණි බව තෙරුන්ගෙන් අසා දැනගත් රජතුමා කළයුතු දෑ අවබෝධ කර ගත්තේ ය.  රජුගේ බෑණනුවන්වූ මහාරිට්ඨ නම් මහාමාත්‍ය තෙමේ දුටු කණිටු සොහොයුරන් පනස්පස් දෙනෙකු හා මිහිඳු මාහිමියන් සමීපයෙහි එ දවස ම පැවිදි වූහ.  දේවානම්පිය තිස්ස මහරජතුමා එ දවස ම කණ්ටක නම් චෛත්‍යාස්ථානයෙහි හාත්පස අට සැට ලෙන් සෑදීම පිණිස කර්මාන්ත පටන් ගන්වා නගරයට ඇපසු පැමිණියේ ය.  ලෙන් සාදා නිමවු කල ඇසළ මස පුන් පොහෝ දවස් හි රජතුමා එහි ගොස් තෙරුන් වහන්සේලා හට විහාර දක්ෂිණාවක් දුන්නේ ය.  දෙසතියක් සීමා මාලකයන්ට එ දවස් හි ම සීමාබන්ධනය කොට මිහිඳු මහ තෙරණුවෝ පැවිදිවූ සියලු දෙනාගේම උපසම්පදාව පළමුකොට සිදු කළ සේක.  දෙසැට නමක් වූ රහතන් වහන්සේලා ඒ සෑගිරියෙහි වස් එළඹ රජහට සංග‍්‍රහ කළ සේක.

වස් පවාරණයෙන් පසු ඉල් මස පුර පසළොස්වක්දා මහ රජතුමන් ඇමතු මිහිඳු හිමිපාණන් මෙහි පූජනීය වස්තුවක් නැති පාඩුව දන්වා සිටි සේක.  ධාතූන් දුටු කල්හි සර්වඥයන් වහන්සේ දක්නා ලද්දේ නම් වේ යැයි පවසා මම ථූපයක් කරවන්නෙමි.  නුඹ වහන්සේලා ධාතූන් දැන වදාරන සේක්වා යි කී බැවින්, සුමන සාමණේරයන් හා සාකච්ඡ කොට ධාතු ගෙන ඒම පිණිස එම සාමණේරයන් වහන්සේ ධර්මාශෝක මහරජු සමීපයට යැවූහ.  එහි ගිය සුමන සාමණේරයන් බුදුන් ගේ අකුදාව හා බුදුන් පරිභෝජනය කරන ලද්දාවූ පාත‍්‍රයද ගෙන සෑගිරියට පෙරළා පැමිණ මිහිඳු මහ තෙරුන් වහන්සේට භාර දුන්සේක.  උන් වහන්සේ ඒ පර්වතයෙහිම සියළු ධාතූන් තැබූසේක.  එහෙයින් මිස්සක පර්වතය චේතික පබ්බත නම් විය.  පාත‍්‍රා ධාතුව සෑගිරියේ තැබූ අතර අකුධාතුව මහා නාග වනයට ගෙන ගොස් පසුව නිදන් කොට ථූපාරාමය කරවූ යේය.

අපගේ වංශ කථා අනුව ධර්ම දූත මෙහෙයෙහි මූලිකත්වය ගත්තේ අන් කිසිවකු නොව මිහිඳු මහ රහතන් වහන්සේ ම ය.  උන් වහන්සේ සමග එම ධර්ම දූත මෙහෙයෙහි යෙදුණේ උපසම්පදාව ලත් භික්ෂුණ් වහන්සේලා සිව් නමක්ද සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් උපාසකයාද බව ඉහත දැක්විමි.  එසේ වුව ද මහාවංශයේ වෙනත් තැනක සඳහන් වන පරිදි එම දූත ගමනෙහි යෙදී ඇත්තේ මිහිඳු මහ තෙරුන් ප‍්‍රමුඛ තෙරණුවන් පස් නමකි.  මිහින්තලාවේ ඇති සෙල් ලිපියකින් ද මේ බව තහවුරු වේ.  මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනින් සිදුවූ ප‍්‍රතිඵලය විශිෂ්ට ය.  ඒ පිිළිබඳ ඉතිහාසඥයන් සඳහන් කරන්නේ මෙසේ ය.

බුදු සමයෙහි ආභාසයට ලක්වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ.  එහි බලපෑම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය.  බුදුසමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය.  එබැවින් එහි බලපෑම කලාත්මක හා සාහිත්‍ය කෘතීන්හිද පිළිබිඹු විය.  සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක්ද, ජීවත් වීමේ අලුත් පරමාර්ථයක් ද බුද්ධාගම නිසා ලැබුණේ ය.

භාරතයේ වේදිසගිරියේ සිට මිහින්තලයට පැමිණි මිහිඳු මාහිමි ප‍්‍රමුඛ සංඝයා වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා මුණගැසුණේ ජෙට්ඨ මස පුර පසළොස්වක දින දීය.  එය නැකැත් කෙළි දිනයක් බව කියවේ.  ජෙට්ඨමූල මාසය යනු පොසොන් මාසයයි.  අද දින වුවද ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ජනයා එම මාසය හඳුන් වන්නේ ජෙට්ඨ යන නමිනි.  එය වර්ෂාව අපේක්ෂාවෙන් දෙවියන්ට පුද පූජා පවත්වන නක්ෂත‍්‍ර මාසයකි.  මෙවැනි උත්සවයක් එදා මිහිඳු හිමියන් ලක්දිව වැඩි සමයේ පැවැතියේ උතුරු ඉන්දියාවේ සිට මෙහි පැමිණි මුල් ආර්ය ජනයාගේ ඇදහිලි විශ්වාස නිසා බව කිව යුතු ය.  මිහිඳු මාහිමියන් වැඩියේ මිස්සක පර්වතයටය.  සංස්කෘත භාෂාවෙන් එය මිශ‍්‍රක නම් විය යුතු අතර එහි අරුත උයන වේ.  මිශ‍්‍රක වන යනු වෛදික දෙවියකුවූ ඉන්දු දෙවියන්ගේ නන්දන උයනට භාවිත වූ තවත් නමක් බව පානිණිගේ ග‍්‍රන්ථයෙන් පෙනීයයි.

එදා මිහිඳු හිමියන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේ වැඩියේ මිස්සක පර්වතයේ අම්බස්ථල හෙවත් අඹතලයට ය.  එකී නාමය එම ස්ථානයට භාවිත වන්නට ඇත්තේ එම පෙදෙස අඹ තුරින් පිරී පැවති නිසා විය යුතුය. මිස්සක පර්වතය පසුව චේතිය පබ්බත හෙවත් චේතිය ගිරි හෙවත් සෑගිරි යනුවෙන් භාවිතයට පැමිණියේ කරුණු දෙකක් හේතු කොට ගෙනය.  පළමුවැන්න කඳු ගැටය මත ස්තූප කිහිපයක් පිහිටීම නිසා චේතිය පබ්බත හෙවත් ගිරි (සිංහල-සෑගිරි* යන නාමය ලැබීම ය.  දෙවැන්න නම් මිහිඳු මාහිමියන්ගේ උපන් ගමහි පිහිටි චේතීය ගිරි නිසා එසේ නම් කරනු ලැබීමය.  තවත් කල්ගිය පසු මිහිඳු මාහිමියන්ගේ ඇසුර නිසා මෙම කඳු වැටිය මිහින්තලේ - මිහින්තලාව ලෙස භාවිතයට පැමිණි බවද කියනු ලැබේ.  එසේ වුවද වෛදික මහේන්ද්‍ර දෙවියන් උදෙසා මිස්සක පර්වතය මුදුනේ එදා පැවති දේව ඇදැහිලි හේතුවෙන් ඒ නම භාවිතයට පැමිණියාද යන්න කල්පනාවට භාජනය විය යුතුය.  කලට වැසි පතා දනන් ඉන්දු දෙවියන්ට පුද පූජා පැවැත්වූයේ මේ කඳු මුදුනත සිට බව සිතන්නට ජෙට්ඨ මූල නැකැත් කෙළිය සාධක විය හැකිය.  ඉන්දු දෙවියන් වූ කලී ආකාස්ථ දෙවියන් කෙරෙන් ප‍්‍රධාන වේ.  වෛදික ආර්යයන් විසින් ඉන්දු දෙවියා වර්ෂාපතනයත්, කාලගුණයත් යන දෙක පාලනය කළ අධිදේවයා ලෙස සැලකූ බව උගතුන්ගේ පිළිගැනීමයි.  ලක්දිව පැවති ජෙට්ඨ මූල නැකැත් කෙළියේ විශේෂාංගය වූයේ සශි‍්‍රකත්වය හඟවන දිය කෙළිය බව වංශ කථාවලින් පෙනේ.

මිහිඳු මාහිමියන් ලක්දිව වැඩමවා ඉකුත්වූ මුල්දින ගණන වැදගත් සිද්ධීන්ගෙන් ගහණය.  පසු දින අනුරාධුපර නගරයට වැඩම කොට ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන වශයෙන් පසුකළ ප‍්‍රසිද්ධ මහා විහාරය පිහිටුවීමෙන් එම කාර්යය ආරම්භ වූයේ ය.  නගරයේ එම කටයුතු නිමා කිරීමෙන් පසු පිරිවර සංඝයා වහන්සේ කැටුව යළි මිහින්තලාවට වැඩි මිහිඳු මාහිමියන්ට එහි දේවානම්පියතිස්ස මහරජ විසින් පිළියෙල කල ඇට සැට ලෙන් වාසස්ථාන වශයෙන් පූජා විය.  එවක් පටන් ඇරඹුණු ලක්දිව ශාසන ඉතිහාසය මිහින්තලා කඳු වැටිය නිසා වඩ වඩාත් ජෝතිමත් වන්නට වූයේ ය. 

මිහින්තලා කඳු වැටියේ ආදිතම ස්මාරක වශයෙන් සැලකිය හැක්කේ කණ්ඨක චේතිය හාත්පස ඇති ගල්ලෙන් ය.  ඉහතින් දැක්වූ පරිදි මේවා සිංහල ද්වීපයේ පැවිදිව ශාසනයට ඇතුළු වූ ප‍්‍රථම භික්ෂුන් වහන්සේලා ඇතුළු ධර්ම දූතයන් වහන්සේලාගේ විහරණය සඳහා මුලින්ම ඉදිවූ ගොඩනැගිලි ය.  ඒවා කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ නියමය පරිදි ය.  ඉදි වූ ලෙන් ගණන හැට අටකි.  භික්ෂුන් වහන්සේලාගේ නැවතීම සඳහා මේ ලෙන් කුටි පිළියෙල වූ අවස්ථාවේ දී එම පුණ්‍ය කර්මයට රජතුමා පමණක් නොව රාජකීය පවුලේ සාමාජිකයන් ද දායක වූ අකාරය එම ලෙන්වල බ‍්‍රහමීය අකුරින් ලියා ඇති වගන්ති වලින් මනාව පැහැදිලි වේ.  කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසට අයත් එම ලිපිවලින් බුද්ධ ශාසනයේ මුල්ම අවස්ථාව පිළිබඳ කරුණු හෙළිදරව් වනවා පමණක් නොව, සිංහල අක්ෂර මාලාවේත් භාෂා ක‍්‍රම විකාශණයේ ප‍්‍රාරම්භක අවධිය පිළිබඳවත් කරුණු දැනගැනීමට ද ඉවහල් වේ.  දේවානම්පියතිස්ස රජු ඇතුළු පවුලේ සාමාජිකයන් ද ප‍්‍රාන්ත රජවරුන් හා රටේ ප‍්‍රභූන් ගැනද මේ ලිපිවලින් කරුණු හෙලි දරව් වන අතර, බුද්ධාගම මෙහි ප‍්‍රතිෂ්ඨාපනය වූ මුල් අවස්ථාවේදී ම ප‍්‍රභූ පිරිුස හා පාලකයන් නව දහම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ආකාරයට දායක වී ඇත්ද යන්නත් පැහැදිලි වේ.  ගාමිණීතිස්ස හෝ දේවානම්පියතිස්ස යනුවෙන් ලිපිවල සඳහන් වන තැනැත්තා දේවානම්පියතිස්ස රජු බවත්, ගාමිණී උතී යනු ඔහුගේ සොහොයුරු උත්තීය රජු බවත් පැහැදිලි වේ.  වරුණදත්තා යනුවෙන් සඳහන් වන උපාසිකාව දේවානම්පියතිස්ස රජුගේ බිසවගේ සොහොයුරු බවත් රාමදත්තා යනු ගාමිණීතිස්ස හෙවත් දේවානම්පියතිස්සගේ භාර්යාව බවත් හෙළිදරව් වේ.  ගාමිණීතිස්ස වශයෙන් සඳහන් වන තවත් ලිපියක එහි අක්ෂර අයත් කාලය නිසා එය දුටුගැමුණු මහ රජුගේ සොහොයුරු සද්ධාතිස්සගේ බව පරණවිතාන කල්පනා කරයි.  ගාමිණී අභය නැමැත්තෙකුගේ නමක් ද එහි සඳහන් ව ඇතත් ඔහු කවුරුන් ද යන බව ස්ථීර වශයෙන්ම හඳුනා ගත නොහැක. ගාමිණී ධම්මරාජ කෙනෙකුන් පිළිබඳව ලෙන් ලිපියක ඇති සඳහන ගැන අදහස් දක්වන පරණවිතාන මහතා ඔහු කතරගම විසූ රාජකුමාරයෙකු විය හැකි බවට බෝවත්තේගලින් සොයාගත් ලිිපියක් ඇසුරෙන් තහවුරු කිරීමට උත්සාහ ගෙන ඇත.  දීප රාජවිරුදාවලිය ඇති කෙනෙකුගේ පුතකු ගැනද තවත් ලිපියක සඳහන් වේ.  එම විරුදාවලිය යොදා ගන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපය පාලනය කරන කෙනෙකු විසින්ම බව නැවතත් ඔහු සම්මෝහවීනෝදනී අටුවා ග‍්‍රන්ථය මගින් තහවුරු කිරීමට උත්සාහ ගෙන තිබේ.  එසේම කණගම (කාණගාම* තිස්ස නම් රජ කෙනෙකු ගැනත් තෙරණියක් බවට පත්වූ ඔහුගේ දියණිය ශවෙර ගැනත් සඳහන් වේ.  කාණාගම හත්වැනි සියවසේ අග‍්‍රබෝධි රජුගේ නාමයත් සමග වඩාත් ප‍්‍රසිද්ධියට පත් ස්ථානයක් වශයෙන් විස්තර කළ හැක.  මේ ලේඛනවලින් හෙලිදරව් වන පරිදි උත්තිය මහ රජුගේ භාර්යාවගේ නම සුමනා දේවී බවත් ඔවුන්ගේ දියණිය තිස්සා යන නමින් ප‍්‍රසිද්ධියට පත්වී සිටි බවත් පෙනේ.  දේවානම් පියතිස්ස රජුගේ භාර්යාව රාමදත්ත බවත් පෙනේ.  වරුණදත්ත ඇගේ සොහොයුරිය බවත් අනාවරණය වේ.  සද්ධාතිස්ස රජුගේ බිරිය කිතක යනුවෙන් සඳහන් වේ.  මේ නාමයත් සමග හෙළිවන වැදගත් කාරණය නම් රාජකීය දේවීන් වහන්සේලා උපාසිකාවන් වශයෙන් නිරහංකාරව ශ‍්‍රද්ධා භක්තියෙන් යුතුව ප‍්‍රසිද්ධියේ මහ ජනයා ඉදිරියේ පෙනී සිටි බවයි.

මේ ලිපි අතර ප‍්‍රභූන් කීප දෙනෙකු ගැන සඳහන් වේ.  සේනාපති, භාණ්ඩාගාරික හා අධ්‍යක්ෂකවරයකු ඒ අතර සිටී.  මේ අය අතර බොහෝ දෙනා ප‍්‍රමුඛ (පරුමක) හෙවත් ප‍්‍රධානියා වශයෙන් හඳුන්වා දී තිබේ.  භික්ෂු සංඝයා වහනසේට ලෙන් පූජා කළවුන් අතර, උපාසකයන් වශයෙන් හඳුන්වා දී ඇති සාමාන්‍ය ජනයා ද භික්ෂුන් වහන්සේ ද සිටි බව පැහැදිලි වේ.  මුලදී ලෙන් හැට අටක් තැනුණ ද ඒ ගණන කාලයාගේ ඇවෑමෙන් අවශ්‍යතා පරිදි වැඩි වන්නට ඇතැයි සිතිය හැක.

සෑගිරියේ රෝපණය වූ ශී‍්‍ර මහා බෝධි අංකුරය ගැනද සඳහන් කළ යුතුය. සගමිත් මෙහෙණිය විසින් ශී‍්‍ර මහා බෝධියේ අංකුරය මෙහි ගෙනැවිත් දේවානම්පියතිස්ස මහරජුගේ සහභාගිත්වයෙන් මහමෙවුනා උයනේ රෝපණය කළ විස්තරය ප‍්‍රධාන වංශකථාවල මෙන් ම සමන්තපාසාදිකා හා මහාබෝධිවංශයේ ද සඳහන් වේ.  එම බෝරුකෙන් හටගත් අංකූර අටකින් එකක් සෑගිරි අරමෙහි ද රෝපණය වූයේ දේවානම්පියතිස්ස රජුගේ ම අනුග‍්‍රහය ඇතිවය.

දේවානම්පියතිස්ස මහරජුගෙන් (කි‍්‍ර. පූ.250-210) පසු රජ පැම්ණ ඔහුගේ බාල සොහොයුරු උත්තිය රජු ද (කි‍්‍ර.පූ. 210-200) තම සොහොයුරාගේ අඩිපාරේ යමින් චේතිය ගිරි හෙවත් සෑගීරියේ නොයෙකුත් විහාර කර්මාන්ත කර ඇති බව පෙනේ.  ලෙන් පූජා කිරීම හැරුණු විට එතුමන් ගේ රාජ්‍ය අවධියේදී පිරිනිවන් පෑ මිහිඳු මාහිමියන්ගේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කීරීමේ වරයද එතුමන්ට හිමිවිය.  සෑගිරියේදී අපවත්වූ මිහිඳු මාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනුරාධපුර අගනුවර දී සිදුකොට භෂ්මාවශේෂයන්ගෙන් කොටසක් නිදන් කොට සෑගිරි වෙහෙරේ මිහිඳු සෑට ගොඩනැගීමද උත්තිය රජතුමන් අතින් සිදුවිය. 

මහාවංශය එම සිද්ධ්ය විස්තර කරන්නේ මෙසේ ය.

ඒ උත්තිය රජුගේ රාජාභිෂේකයන් අට වැනි ජයවර්ෂයෙහි සැටවස් පිරුණු සේක් වස්සාන මාසයන්හි සෑගිරියෙහි (විසූ සේක.) වෙසෙමින් වප්මස ශුක්ල පක්ෂයෙහි අටවක් දවස් ද්වීප වර්ධනයට හේතුවූ මහේන්ද්‍ර ස්ථවීර තෙමේ පිරිනිවන් පෑ සේක.  අටවක් දවස්හි මහේන්ද්‍ර ස්ථවීරයන් පිරිනිවී කරුණින් දවසද අටවක් දා යයි සම්මත විය.

සිය රථය ගැටීමෙන් චේතිය ගිරියේ ස්තූපයකට හානිවීම ගැන ඉමහත් කම්පාවට පත් එළාර රජතුමා එම ස්තූපය ප‍්‍රතිසංස්කරණය කළ පුවතක් මහාවංශයේ සඳහන් වේ.  සෑගිරියේ විහාර කර්මාන්ත සම්බන්ධයෙන් සලකා බලන කළ කණ්ටක චේතියේ නිර්මාණය කවදා කවුරුන විසින් සිදු කරන ලද්ද යන්න ඉතිහාසයෙන් හෙළි නො වේ.  එසේ වුවද ලඤ්ජතිස්ස රජු (කි‍්‍ර.පූ. 119-109)විසින් එම චෛත්‍යයට ලක්ෂයක් වියදම් කොට සෙල්මුවා කණ්ඩුකයක් කරවීය.  ඉතිහාසයෙන් පෙනෙන පරිදි කූටකණ්ණතිස්ස රජතුමා (කි‍්‍ර. පූ. 41-19 සෑගිරියේ මහ පොහෝ ගෙයක් ද ඒ ගෙය ඉදිරියෙහි ගල් සෑය ද බැඳවීය.  එම සෑගිරි ගල බෝධි වෘක්ෂයද ඉදිකළේ ය.  මහා දාඨික මහා නාග රජ (කි‍්‍ර.ව. 9-21) විසින් සෑගිරියේ කරන ලද පූජා කර්ම බොහෝ ය.  භාතික අභය රජු (කි‍්‍ර.පූ. 19- කි‍්‍ර.ව. 9 විසින් ඇත් වෙහෙර කළ බව ඔහුගේ සෙල්ලිපියකින් ම අනාවරණය වේ.  එසේම එතුමන් දිනපතා චේතියගිරි වැසි දහසක් සගුන්ට දන් පිළිගැන්වූ බව ද මහාවංශය කියයි.  මහා දාඨික මහානාග රජ (කි‍්‍ර.ව. 9-21 විසින් සෑගිරියේ කරන ලද පූජා කර්ම ගැන සෙල්ලිපිවල හා වංශකථාවේ කරුණු සඳහන් වේ.  කණ්ටක චේිතිය සඳහා ආදායම් මාර්ග දෙකක් සලසා දෙමින් එරජතුමන් කළ පූජාවක් ගැන පර්වත ලිපියක කරුණු සඳහන් වන අතර තවත් දීර්ඝ ලිපියකින් චේතියගිරි විහාරයේ භික්ෂු සංඝයාගේ නඩත්තුව සඳහා පූජා කළ ගම් හා වැව් ගැන තොරතුරු හමුවේ.  ඇත් වෙහෙර (ඇතුළු විහාරය* තවත් කෙටි ලිපියකින් දැක්වෙන පරිදි මේ රජතුමන් විසින් පරිබඩවෙත (පරිභණ්ඩෙචිතිය* සඳහා ආදායම් මාර්ග දෙකක් සලසා දී ඇත.  මෙහි පරිබඩවෙත යනු එකල ඇතුළු විහාරයේ චෛත්‍ය සඳහා භාවිත වූ නම බවත් එම කන්ද පවා පරිබඩපව් (පරිභණ්ඩපබ්බත)යනුවෙන් ව්‍යවහර වන්නට ඇති බවත් පරණවිතාන මහතා කල්පනා කරයි.  හතරවෙනි හිමිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේද  ර්‍ණකිරිබන්ඩි පව් දාගැබ්” ගැන සඳහන් වේ.  මහාවංශයේ දක්වන ලද පරිදි අම්බස්ථල මහාසෑය ගොඩනගන ලද්දේ මේ රජුන් විසිනි.  එය දැන් මහා ථූපය වශයෙන් හඳුන්වාගෙන ඇත.  ඒ සම්බන්ධයෙන් මහාවංශය මනහර විස්තරයක් කරයි.

රජතෙමේ අඹතලා මහා සෑය කරවීය.  ගෙපල බිඳ වැටුණු කල බුදු ගුණ මෙනෙහිකොට ගෙන තෙමේ එහි හෙව ස්වකීය ප‍්‍රාණය පරිත්‍යාගකොට එහි සෑ භූමිය පවත්වා සෑය පිහිටුවා සතර දොරටුවේ දක්ෂ ශිල්පීන් විසින් මොනවට බෙදන ලද නන්රුවනින් හෙබියාවූ රුවන් ඇගැ සතරක් තැබ්බවීය.  තත්රුවනින් කල සැට්ටයක් සෑයෙහි බහා පළඳවා ඒ සැට්ටයෙහි රන් බුබුළු හා එල්ලෙන මුතුවැල්ද තැබ්බවී.  සෑගිරිය අවට යොදුනක් මානය සරසවා හාත්පස මනා වීථි දෑලයෙහි සල්පිල් අතුට කොඩි ඇගැ තොරණින් තන්හි තන්හි සරසවා හාත්පසින් පහන් මාලා ආලෝක කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීත වාදිතයන්ද කරවීය.  කොළොම් ඔය පටන් සෑගීරිය තෙක් මාර්ගයෙහි දෙවි පයින් යනු පිණිස ඇතිරිලි ද කරවීය.

වංශකථාවේ පෙනෙන පරිදි තුන් අවුරුද්දක් රාජ්‍ය කළ කණිරජානුතිස්ස (කි‍්‍ර.ව. 31-34) සෑගිරි පොහෝ ගෙයි අධිකරණ විනිශ්චය කළේය.  එහිදී දුසිල්වත් භික්ෂුන් හැට දෙනෙකු රජ තෙමේ වරද ගිවිස්වා අල්ලා ගෙන සෑගිරියෙහි කණිර නම් ගුහාවක දැම්මවූ සැටි විස්තර වේ.  වසභ රජතුමා  (කි‍්‍ර.ව. 65-109)සෑම තුන් අවුරුද්දක් පාසාම සෑගිරි විහාරයේ දහසක් පහන් පැවැත්වීය.  කනිට්ඨතිස්ස රජතුමා (කි‍්‍ර.ව.164-192) අම්බස්ථල සෑගෙය ද ජෙට්ඨතිස්ස රජතුමා (කි‍්‍ර.ව.266-276) කළු මැටි වැව ද සෑගිරියට පූජා කිරීම ගැන මහාවංශය වාර්තා කරයි.

ශී‍්‍ර මේඝවර්ණ රජතුමා (කි‍්‍ර.ව. 303-331) සෑගිරියේ මිහිඳු මහ රහතන් වහන්සේ අනුස්මරණය කරනු වස් කළ වාර්ෂික උත්සවය ගැන සිත්ගන්නා සුළු විස්තරයක් චූලවංශයේ සඳහන් වේ.  ඒ මෙසේ ය.

ඉක්බිති ඒ රජතෙමේ මිහිඳු මහ තෙරුන් පිළිබඳ පුවත් සියල්ල පළමු කොටම අසා ලක්දිව පහන් කරවු උන්වහන්සේගේ ගුණයෙහි පැහැද ස්ථවීර තෙමේ ඒකාන්තයෙන් ම ලක්දිවට ඊශ්වර යැයි සිතා උන්වහන්සේගේ ප‍්‍රමාණ ඇසුරු කළ රන් පිළිරුවක් කොට වප්මස පුර පසළොස්වක් පොහෝදා ගෙන වුත් එහි තෙර අඹ නම් සෑ අඹතලයෙහි (අම්බස්ථලයෙහි) අටවක් දින වස්වා පසුව නව වක් දිනයෙහි ඒතෙමේ අතොවුරන් ද ගෙවල් රක්නන් හැර නුවරුන්ද දෙව්සෙන් බඳු මහසෙන් ද ගෙන මුළු ලක්දිව්හි සියළු භික්ෂුන් ද රැුස්කරවා නුවර සිර ගෙවල සිටි මිනිසුන් මුදා හැර මහ දන්වැට තබා එසේම මේ තෙමේත් සර්ව ප‍්‍රාණීන්ට වැටුප් දී සර්වෝපහාරයෙන් අප‍්‍රමාණ පූජා කෙරෙමින් ශාස්තෘහුගේ උතුම් පුත් වූ උන්වහන්සේට දෙව් රජහු බුදුන්ට සේ පෙර ගමන් කොට සෑගිරි අඹතලයෙහි පටන් නුවර දක්වා මාර්ගයත්, විශාලා මහ නුවර පටන් සැවැත් නුවර දක්වා සෙයින් මොනවට සරසා මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවන්ගේ ආගමනයෙහි එම මිහිඳු තෙරුන් පිය අසෝක මහරජු සෙයින් තෙරුන් වහන්සේට සියලු භෝගයන් තෑගි කොට එහිදී මා දුගී මගී යාචකයන් විෂයෙහි මහදන් පවත්වා සිව්පසයෙන් භික්ෂුනුදු තුටු කරවා තෙරුන් වහන්සේගේ ආගමනය මහජන තෙමේ මෙසේ බලව’ යි ඒ පිළිරුව ගෙන මහ යසස් ඇති රජ තෙමේ මහත් සත්කාරයෙන් ඒ සෙලින් බැස තෙමේ පුරස්සරව භික්ෂුනුදු හාත්පසින් පිරිවර කොට ගමන් ගත.  ඒ පිරිසෙහි තෙරුන්ගේ ස්වර්ණ ප‍්‍රතිබිම්භය ක්ෂීර සාගර මධ්‍ය ගත සන්ධ්‍යා රාගයෙන් පරික්ෂිප්ත.  ස්වර්ණ මේරුව සෙයින් හෙබියේය.

ධාතුසේන රජතුමා (කි‍්‍ර.ව.459-477)ගැන සඳහන් කරන චූලවංශය එකල මහසෙන් රජු විසින් මහවෙහෙර නටබුන් කළ කාලයෙහි ධර්මරුචික භික්ෂූහු සෑගිරියේ විසූ බවත් රජ තෙමේ අම්බස්ථල විහාරය කරවා මහා විහාරිය භික්ෂුන්ට දුන් බවත් සඳහන් කරයි.  හතරවන මිහිඳු රජුගේ සෙල් ලිපියෙහි අමුබුලු දාගැබ නමින් හඳුන්වන්නේ මේ මහා සෑය විය යුතු ය. 

චීන ජාතික පාහියන් භික්ෂුව පස්වැනි සියවසේ මහානාම රජු දවස (කි‍්‍ර.ව. 459-477) මෙහි කළ සංචාරයේ දී අනුරාධපුරයට ගොස් සෑගිරියේ තොරතුරු ද තම වාර්තා පොතේ සටහන් කළේ ය.  උන් වහන්සේ ප‍්‍රකාශ කල පරිදි එකල සෑගිරියේ භික්ෂුන්වහන්සේලා දෙදහසක් පමණ ලැගුම් ගෙන සිටිය බව පෙනේ.  එකල ධර්ම ගුප්ත නමින් පසිඳුව එහි වැඩ විසූ උගත් සිල්වත් තෙර නමක් ගැන සඳහන් කිරීමට පාහියන් භික්ෂුන් වහන්සේ අමතක නො කළ සේක.  පළමුවැනි අග්ගබෝධි රජතුමා (කි‍්‍ර.පූ. 575-608) සෑගීරියේ තිරදිය ඇති නාග සොඞ් නම් පොකුණ කරවී ය.  එය වර්තමාන නාග පොකුණයි.  එය මුලදී මිහිඳු මාහිමියන් ඇතුළු භික්ෂු සංඝයා වහන්සේගේ ජලය ස්නානය සඳහා භාවිත වූ පොකුණයි.  එසේ ම ඔහු මිහින්තලා වැව ද කරවා මේ වැව් සීමාවෙන් මිහිඳු පිළිරුව වඩා ගෙන එන්ට නියෝග කළේය.  පස්වැනි අග්ගබෝධි රජතුමා (කි‍්‍ර.ව. 718-724) රන් සවිසි දහසක් වියදම් කොට සෑගිරියෙහි ජරාවට පත්ව තිබූ තැන් ප‍්‍රතිසංස්කරණය කළේ ය.  පළමුවැනි උදය රජුගේ (කි‍්‍ර.ව. 797-801) මෙහෙසිය සෑගිරියේ කටු සෑය කළා ය.  එහි සියළු මහරුක් අතු කප්පවා නොයෙකුත් වර්ණ ඇති ධජ පතාකාදියෙන් ද පිදූ රජතුමා පුර්වාරාම භාගයෙහි පහය පියවි කළේ ය.  ඊට අයිති වූ හීන භෝග ඇති ගම සමෘද්ධ කරවී ය.  නටුවාවු ගිරිකන්ද නම් වෙහෙර ප‍්‍රතිසංස්කරණය කළේ ය.  එහි වැඩි භික්ෂුන්ට භෝග ප‍්‍රදාන ගම් ද දෙවී ය.  සේන රජතුමා (කි‍්‍ර.ව. 833-853) සෑගිරියට බොහෝ අය උපදනා කනාවැව පූජා කළ බව චූලවංශය දක්වයි.  සෑගිරියේ වෙදහලක් කරවීමේ ගෞරවය හිමිකර දී ඇත්තේ දෙවන සේන (කි‍්‍ර.ව. 853-972) රජුට ය.  එතුමන් විසින් ම සෑගිරි විහාරයට පූජා කරන ලද ඉඩ කඩම් පිළිබඳව ද විහාරයේ පාලනය සම්බන්ධ සමහර නීතිරීති ද ඇතුලත් වන පරිද්දෙන් සපයා ඇති ලිපිය ද වැදගත් වේ.  හතරවන මිහිඳුරජ තුමන් විසින් (කි‍්‍ර.ව. 956-972) මිහින්තලේ පිහිටුවා ඇති දීර්ඝ සෙල් ලිපියෙන් එකල ලක්දිව විහාරාරාම පාලනය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් හෙළි වේ.  සෑගිරි විහාරය පිළිබඳ කොතරම් උනන්දුවකින් හතරවන මිහිඳු රජතුමා කටයුතු කළේ ද යන්න පැහැදිලි කර ගැනීම එතුමන් විසින් සෑගිරියේ පිහිටුවාලූ එම ලිපිය ම ප‍්‍රමාණවත් ය. එතුමන්ගෙන් අනතුරුව උදාවූ කාල පරිච්ෙඡ්දය රටට ඉතා දුෂ්කර වූ ද අභාග්‍ය සම්පන්න වූ ද එකක් විය.  අභ්‍යන්තර හා බාහිර වියවුල් නිසා මේ තත්වය තවත් බැරුරුම් විය.  එබැවින් රට රැකි නරනාථයන්ට දේශයේ ආරක්ෂාව පිණිස කටයුතු කිරීමට සිදුවූවා මිස ආගමික කටයුතුවල නිරත වීමට තරම් ප‍්‍රමාණවත් විවේකයක් හෝ සාමකාමී වාතාවරණයක් තිබුණා දැයි සිතීම දුෂ්කර ය.

ලක්දිව ථෙරවාද බුදු සමගේ විජය භූමිය වශයෙන් සැලකෙන මිහින්තලේ සෑගිරිය සියවස් හතරකට පමණ පසු මහායානිකයන්ගේ පාලනයට නතුව ගොස් හත්වන අට වන සියවස් පමණ වන විට තන්ත‍්‍රයානයට පවා මධ්‍යස්ථානයක් බවට පත්ව අඩු වශයෙන් දහහත්වන සියවස දක්වා වූ කාලය තෙක් මහායානික අභයගිරි වාසී භික්ෂුන්ගේ පාලනයට යටත්ව පැවති බව ඓතිහාසික සාධකයන්ගෙන් මනාව පැහැදිලි වේ.

අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය ගෙන යාමත් සමගම සෑගිරිය කෙරෙහි තිබූ උනන්දුව හා අවධානය මඳ වූවාද විය හැක.  කෙසේ වුවද බිහිසුණු යුද සමයකින් පසු මහා පරාක‍්‍රමබාහු රාජ්‍යෝදයත් සමග (කි‍්‍ර.ව. 1153-1186) සාමකාමී වාතාවරණයක් රටේ උද්ගත විය.  ඒ හේතුවෙන් සෑගිරි පිළිබඳ තොරතුරක් බොහෝ කලකින් පසු මහා පරාක‍්‍රමබාහු රාජ්‍ය අවධියෙන් අපට ලැබේ.  චූලවංශය දක්වන පරිදි මහා පරාක‍්‍රමබාහු රජතුමන් සෑගිරියේ සිව් සැටක් දාගැබ් කරවා පුරාණ වාසයන්හි සුන්බුන් තැන්ද පිළිසකර කරවූ බැව් පෙනේ.  සෑගිරිය පිළිබඳ දීර්ඝ ඉතිහාසය එතෙකින් නිමා නොවෙතත් ඒ පිළිබඳ තොරතුරු අපේ වංශකථාවල හෝ වෙනත් මූලාශ‍්‍රවල සඳහන් නොවන්නේ කුමන හේතුවක් නිසා දැයි ස්ථීර වශයෙන් කිව නොහැක.  ශත වර්ෂ ගණනාවක්ම නිහැඩියාවෙන් හා ගණ කැලෑවෙන් අතීත ශී‍්‍ර විභූතිය වැසී ගියායින් පසු යළි සෑගිරිය හෙළි පෙහෙළි වූයේත්, හඩ නැගූයේත් විසිවන සියවස් මුල් භාගයේදී පමණ ය.  මීට අවුරුදු සියයකට පමණ පෙරදී එනම් වර්ෂ 1891 දී එච්.සී.පී. බෙල් (1890-1912)නැමති ඉංගී‍්‍රසි ජාතික පුරාවිද්‍යාඥාගෙන් ඇරඹූ මිහින්තලා උදාව ඉන්පසු ඒ.එම්. හෝකාට් (1922-1927)හා සෙනරත් පරණවිතාන (1931-1956) යන පුරා විද්‍යාඥයන් දෙදෙනා යටතේ ඉදිරියට ගියේ ය.  යටගිය සෑගිරියේ ඉතිහාසය මෙන්ම මිහින්තලාවේ ශී‍්‍ර විභූතියද අපට පාදා දුන්නේ විශේෂයෙන් ඒ විද්වතුන් තිදෙනා බව කෘතවේදීව සඳහන් කළ යුතුය.  ජරාජීර්ණව තිබූ සියලුම ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් ද පසින් හා කාලයෙන් යටවී ගොස් තිබූ ඓතිහාසික ස්මාරක යළි පාදා ගැනීමෙන් ද ඔවුහු එම උදාව ඇති කළෝ ය. 

මිහින්තලාව යළි යළි පෙහෙලි කොට සංරක්ෂණ කටයුතු සිදුකළ ආරම්භක අවධිය පිළිබඳ වැදගත් තොරතුරු එච්. සී. පී. බෙල් මහතා විසින් වර්ෂ 1910-1911 සඳහා නිකුත් කළ පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් වේ.  වර්ෂ 1910-1911 මුදල් වර්ෂය අවසාන වීමට පෙර මිහින්තලේ කන්දේ උතුරු බෑවුමේ ඇති සියලුම ගොඩනැගිලි ද, ඇත් වෙහෙර කන්ද හා මිහින්තලේ උස් බිමෙහි පිහිටි ගොඩනැගිලි ද කැණීම් වලට භාජනය වූ බව දැක්වේ.  මේ කටයුතු මෙසේ ආරම්භ වීමේදී මිහින්තලේ බෞද්ධ සමිතියේ විරෝධතා ගණනාවකට එච්. සී. පී. බෙල් මහතා ට මුහුණ දීමට සිදුවීය.  එම සමිතියේ ප‍්‍රධාන තැනක් ගෙන කි‍්‍රයා කළේ වලිසිංහ හරිස්චන්ද්‍ර මහතායි.  එතුමාගේ එක් විරෝධතාවයකට හේතු වූයේ වර්ෂ 1910 මාර්තු මාසයේ දී බෙල් මහතා විසින් ජා මිනිසුන් 123 (එකසිය විසිතුන්) දෙනෙකු කැටුව මිහින්තලේට පැමිණ අතරින් පතර කැණීම් කටයුතු ආරම්භ කිරීමය.  හෙන්රි මැකලම් ආණ්ඩුකාර තුමාට යැවීමට පිළියෙල කර තිබූ පෙත්සමේ සඳහන් කරුණු අතර මිහින්තලේ විහාරාධිපති පදවිය පිළිබඳ ආරවුල වැදගත් තැනක් ගෙන තිබූ බව පෙනේ.  එසේ ම කැණීම් මගින් සොයා ගත් පුරා විද්‍යා වස්තු ද, විහාර භූමිය තුළම තැන්පත් කළ යුතු බවද ඉල්ලීම් අතර විය.  මේ සියලු කටයුතු කෙරීගෙන යන අතර බි‍්‍රතාන්‍ය රජය මුඩු බිම් පනත යටතේ 1911 ජනවාරි 27 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් අක්කර දෙකක් හැරුණු විට මිහින්තලේ සම්පූර්ණ භූමි භාගය රජයට පවරා ගත්තේ ය.  මේ කි‍්‍රයාව සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ මහා සභා රැුස්වීමක් කොළඹ ආනන්ද ශාස්ත‍්‍රාලයේ දී 1911 පෙබරවාරි 19 වනදා පැවැත්වුණ අතර යටත් විජිත මහ ලේකම්තුමන්ට ඉදිරි කටයුතුවලින් වැලකෙන ලෙස ඉල්ලීමක් ද කළේ ය.  මෙහි ප‍්‍රතිඵලය වූයේ මිහින්තලේ පුරා විද්‍යා කටයුතු ආණ්ඩුකාර තුමා විසින් තාවකාලිකව නතර කිරීම ය.  එසේම ආගමික හා පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා අක්කර 97ක ප‍්‍රමාණයක් නැවත අත්පත් කර ගැනීම ද මිහින්තලේ බෞද්ධ සමිතියට හැකි විය.  මේ හා වෙනත් හේතූන් නිසා මිහින්තලේ කැණීම් හා සංරක්ෂණ කටයුතු යළිත් ආරම්භ කිරීමට හැකිවී ඇත්තේ හෝකාර්ට් මහතාගේ මග පෙන්වීම යටතේ වර්ෂ 1922 දී ය.

මිහින්තලේ වර්තමාන තත්ත්වය දකින අපට සිහිපත් විය යුත්තේ ප‍්‍රථම ලාංකික පුරා විද්‍යඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා යි.  ඔහු 1940 පුරා විද්‍යා අධිකාරී තනතුරට පත් වූවායින් පසුව කළ මුල් කාර්යයන් ගෙන් එකක් වූයේ ඓතිහාසික මිහින්තලේ භූමිය හෙළි පෙහෙලි කොට නටඹුන් සංරක්ෂණය කිරීම යි.  ඒ අනුව කණ්ටක චේතිය වෙත ඔහුගේ නෙත ගැටුණේ ය.  එහි වාහල්කඩ යළි යථා තත්ත්වයට පත් කළේ ය.  ඔහු අතින් කටු සෑය සංරක්ෂණය විය.  මේ කටයුතු සඳහා මිහින්තලා සෑය සංවර්ධන සමිතියෙන් ද ඔහුට ආධාර ලැබුණේය.  ආරම්භය මෙසේ වූ අතර එවක් පටන් මිහින්තලාවේ පුරාවිද්‍යා හා සංරක්ෂණ කටයුතු ඉදිරියටම කෙරීගෙන ගියේය.  අද දින අක්කර 105ක් වූ භූමි භාගයක විසිරී ඇති ඓතිහාසක ස්මාරක රැුක බලාගැනීමේ වගකීම පැවරී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ය.

Memorial Foundation

songs banner-011

getsinhala