ලක්දිව බුදු සසුන හා සිංහල සංස්කෘතිය

ශී‍්‍ර සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදහස් පන්සිය පනහක් ගතවීම නිමිත්තෙන් මෙවර වෙසක් පුන් පොහෝ දිනයේ දී පැවැත්වෙන බුද්ධ ජයන්ති මහෝත්සවය ශී‍්‍ර ලංකාවාසී අප සියලුදෙනාට ම වැදගත් වන ඓතිහාසික අවස්ථාවකි. මීට අවුරූදු පනහකට පෙර දී එනම් වර්ෂ එක්දහස් නවසිය පනස් හය වැන්නේ දී පැවැත්වූ ජයන්ති උත්සවය සහ ඒ හා සම්බන්ධව පැවැත්වූ උත්සව වැඩසටහන් මාලාව තුළින් යම්බඳු බෞද්ධ ප‍්‍රබෝධයක් ජනතාව තුළ ජනිත කිරීමට හැකි වූ බව එදා එම උත්සවවලට සහභාගී වීමට භාග්‍ය ලද අදත් ජීවත්වන සමහරකුට මතක තිබිය යුතු ය. එම උත්සව මාලාවෙන් පසු අවුරුදු පනහක් ගෙවී ගොස් ඇති අතර එම කාලපරිච්ෙඡ්දය තුළ බුදු සමය නිසා ලක්දිව සමාජය ලැබූ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමට මෙය කදිම අවස්ථාවකි. සිංහල ජනයා සතු ඔවුන්ගේ අනගිභවනීය සංස්කෘතිය කෙරෙහි නිරන්තරයෙන් ම බලපා ඇත්තේ බුද්ධ දේශනය බව පිළිගත් සත්‍යයකි. එබැවින් සිංහලයන්ගේ සංස්කෘතියේ පදනම බුදු දහම යි.

වෙසක් පූර්නිම් දිනය හෙවත් වෙසක් පොහෝ දිනය සමරනු ලබන්නේ සිදුහත් උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ කරුණු මුල්කරගෙන ය. එය බෞද්ධයන්ගේ උතුම් ම පොහෝ දිනය යි. ථෙරවාදී සම්ප‍්‍රදාය අනුව බුද්ධ පරිනිර්වාණය සිදු වී වර්ෂ එක්දහස් නවසිය පනස් හයවැනි වසරට අවුරුදු දෙදහස් පන්සියයක් සම්පූර්ණ වේ යැයි ගණන් බලා ඇත්තේ බුද්ධගයාවේ පිහිටි සෙල්ලිපියක බුද්ධ පරිනිර්වාණය කි‍්‍රස්තු පූර්ව පන්සිය හතළිස් හතරේ දී (544* සිදු වූ බවට දැක්වෙන සටහනක් අනුව ය. එහෙත් ථෙරවාදී හා මහායාන වශයෙන් සැලකෙන බෞද්ධ සම්ප‍්‍රදා තුළ මෙන්ම බටහිර බෞද්ධ උගතුන් අතර ද බුද්ධ වර්ෂ සම්බන්ධයෙන් නොයෙකුත් වෙනස් මත පවතින බව අමතක කළ යුතු නොවේ. නූතන ථෙරවාදී බෞද්ධ උගතුන් ගෞතමයන් බුද්ධත්වය ලැබූ දිනය වශයෙන් සලකන්නේ කි‍්‍රස්තු පූර්ව 544/3 වර්ෂය යි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ කි‍්‍රස්තු පූර්ව 531 දී හෝ 528 දී බවට විශ්වාසයක් ද මේ අය අතර පවතින්නේ ය. මේ පිළිබඳව කලින් කල සිදුවන උගතුන්ගේ වාද විවාදවල කෙළවරක් මේ දක්වා ම නැති බැවින් එම දින වකවානු තවමත් විවාදාත්මක ය. එකී කරුණු මේ මොහොතේ සාකච්ඡුාවට නොගෙන 2006 වසර බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2550 වශයෙන් විශ්වාස කරන ථෙරවාදී බෞද්ධ ජනතාවගේ පිළිගැනීමට අපි ද ගරු කරමු.

සිද්ධාර්ථ කුමරු තම ගිහි ජීවිතයේ දී අවබෝධ කරගත් ප‍්‍රධාන කාරණය වූයේ සසර යනු දුකින් වෙලී ඇති තැනක් බව යි. එය එතුමන්ට පසක් වූයේ තමන් ජීවත් වූ මාලිගාවෙන් පිටතට ඇවිත් ලෝකය දෙස බැලීමෙනි. සසර ස්වභාවය එතුමන් දුටුවේ සතර පෙරනිමිති අනුසාරයෙනි. ගමන් වාර සතරක දී මහල්ලකු, රෝගියකු, මළ මිනියක ද දැකීමෙන් ජීවිතයේ අනිත්‍යතාව පසක් කරගත් අතර උපශාන්ත ශ‍්‍රමණයකු දැකීමෙන් පරම ලෝක සත්‍ය අවබෝධ කරගැනීමේ නිවැරදි මාර්ගයට යොමු වූ බව බෞද්ධ පතපොතේ උගැන්වේ. මෙම සතර පෙරනිමිති උන්වහන්සේගේ මතු ගමනේ දී ජීවිතය වෙනස් කිරීමටත්, ලෝක සත්‍ය අවබෝධ කරගෙන සියලු සතුන්ට පහදා දීමටත් උපකාරී කරගත් බව පැහැදිලි ය. සසර ජීවිතය දුකින් පිරී ඇති බැවින් එයට හේතු සෙවීමත් එසේ හේතු සොයා දුකින් මිදීමට නිවන සාක්ෂාත් කරගත යුතු බවත් ඒ සඳහා මග ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් කියන මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරිමෙන් හා එම අවබෝධය ප‍්‍රායෝගික වශයෙන් ඉෂ්ට සිද්ධ කරගැනීමට මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ගමන් කළ යුතු බවත් උන්වහන්සේ ස්වකීය ප‍්‍රථම ධර්මදේශනාව වශයෙන් ධම්මචක්ක පවත්තන සූත‍්‍ර දේශනය මගින් ලෝක ජනතාවට පහදා දුන්නේ ඇසල මස පුණු පොහෝ දා බරණැස ඉසිපතනයේදී ය.

වයස අවුරුදු 29 දී ගිහිගෙය හැර දමා ප‍්‍රවෘ–ජාව ලබා සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර කි‍්‍රයා කොට අවසානයේ දී සියලු කෙලෙස් ප‍්‍රහීන කොට සම්මා සම්බුද්ධතාවය ලැබුවේ උන්වහන්සේට අවුරුදු 35ක් වයස් වූ සමයේ දී ය. බුද්ධත්වය ලබා පුරා අවුරුදු 45 ක් ගම් නියම්ගම් හරහා පා ගමනින් යමින් දහස් සංඛ්‍යාත ජනතාවකට නිර්වාණය අවබෝධ කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව දහම් දෙසා මිනිසා දුකින් මුදවා අවුරුදු අසූව සපිරුණු විට පරිනිර්වාණය කළ බව උන්වහන්සේ ජීවන පුවත සඳහන් වන බෞද්ධ පොතපත කියවන අපට අවබෝධ වේ.

අපගේ වංසකතා පවසන පරිදි බුදුන්වහන්සේගේ ධර්ම පණිවිඩය රැගෙන මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ ¥ත පිරිස ලක්දිවට වැඩම කළේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 ක් ගත වූ පොසොන් මස පුර පසළොස්වක දිනයේ දී ය. එදා ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස මහරජු උන්වහන්සේට ප‍්‍රථම වරට හමුවූයේ සිත්කලු මිශ‍්‍රක නමින් හැඳින්වුණු මිහින්තලාවේ පියල් කුල උතුම් රුචිර අඹ තලේ දී ය. එදින රජුහට දහම් දෙසූ මිහිඳු හිමියන් ඒ සඳහා යොදාගත්තේ චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය යි. ඒ සූත‍්‍රය මගින් ප‍්‍රකාශ වන්නේ තමන් දකින හැම කරුණක් ම විචාරශීලීව, තර්කයට හසුකොට පිළිගත යුතු බව යි. එවැනි දේශනාවක් කිරීමට මිහිඳු හිමියන්ට කල්පනා වූයේ ජීවිතයේ සත්‍ය සොයා යන ගමනේ දී එවැනි විචාර බුද්ධියක ඇති වැදගත්කම වටහා දීමට විය යුතු ය. බුදු දහමේ පදනම වන්නේත් පරමාර්ථය වන්නේත් සත්‍ය සොයා යෑම යි. මුළු ලොව ම දුකින් හා අනිත්‍යතාවයෙන් වෙළී ඇති බැවින් එවැනි තත්ත්වයකින් මිදී නිර්වාණය අවබෝධ කරගැනීම සත්ත්වයන්ගේ අභිමතාර්ථය හා අපේක්ෂාව විය යුතුය. චතුරාර්ය සත්‍යයේ වැදගත්කම ඉස්මතු වන්නේ මේ අවස්ථාවේ දී ය. බුදු දහම මගින් ලක්වැසි ජනතාව වෙත ලැබුණු සදහම් පණිවිඩය හෙවත් අවබෝධය වනාහි ලෝකය හා මිනිස් ජීවිතය දුක්බර බවත් අනිත්‍යයෙන් පිරී ඇති බවත් ය. ලෝකය සුන්දරවත් තැනක් හෝ ජීවිතය සතුටක් හෝ නොවන්නේ ය. එබැවින් මා දකින අන්දමට මුළු මහත් සිංහල සංස්කෘතිය ම රඳා පවතින්නේ අනිත්‍ය හා දුක්ඛ යන සත්‍ය මත ය. මෙම ලෝක ස්වභාවය අවබෝධ කිරීම බුදු දහමේ විස්තර වන්නේියථාභූත ඥාන දස්සන’ හෙවත් ලොව සැබෑ ස්වභාවය දැනීම යනුවෙනි. සිංහල සංස්කෘතිය තුළ මේ තත්ත්වය කෙසේ නම් කි‍්‍රයාත්මක වන්නේ ද යන්න මෙතැන් සිට සරලව විස්තර කරමි.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනින් සිදු වූ ප‍්‍රතිඵලය ගැන සඳහන් කරන ආචාර්ය වල්පොල රාහුල හිමියෝ මෙසේ ප‍්‍රකාශ කරති. ර්‍ණබුදු සමයෙහි ආභාසයට ලක්වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ. එහි බලපෑම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය. බුදු සමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය. එබැවින් එහි බලපැම කලාත්මක හා සාහිත්‍ය කෘතීන්හි පිළිබිඹු විය. සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක් ද ජීවත්වීමේ අලුත් පරමාර්ථයක් ද බුද්ධාගම නිසා ලැබුණේය.” මෙම අලුත් ජීවන මාර්ගය මෙන්ම පරමාර්ථය ද කුමන ස්වාභාවයක් ගත්තේ ද යන්න විමසන කල ලෝකයේ අන්කවර හෝ ශිෂ්ටාචාරයක නොදැකිය හැකි ලක්ෂණයන්ගෙන් එය පරිපෝෂිත බව පෙනී යයි. ගෙවී ගිය අවුරුදු දෙදහස් තුන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරය මගින් අපගේ ජීවිත හසුරුවා ඇත්තේ අල්පේච්ඡුව ජීවත්වීමටත්, නිදහස්ව සිතීමටත්, සරල ජීවිතයක් ගත කිරීමටත්, ලෝකයේ අනිත්‍ය හා දුක්ඛ යන ස්වභාවයන් අවබෝධ කරගෙන ජීවත්වීමේ වැදගත්කම වටහා දීමටත් ය. අපගේ ජීවිත වටා අවට පරිසරය නිර්මාණය වී ඇත්තේ බුදු දහම මගින් දුන් ඒ පණිවිඩය මාර්ගයෙනි.

බුද්ධාගත ලක්දිව රාජ්‍ය ආගම බවට පත් වූයේ දේවානම්පියතිස්ස යුගයේ දී ම ය. රජතුමන් බුද්ධාගම තම රාජ්‍ය කටයුතු සඳහා කෙතරම් ප‍්‍රමාණයකින් උපයෝගී කරගත්තේ දැයි කිවහොත් බුද්ධ ආඥාවට අනුකූලව වෙසෙන්නට හැකිවන පරිද්දේන් නගරය ද ඇතුළු කොට සීමා බන්ධනය කරන ලෙස මිහිඳු මාහිමියන්ගෙන් කළ ආයාචනයෙන් ම පෙනී යයි. බෞද්ධ රාජ්‍යයක් තුළ ප‍්‍රථම වරට ඇති කළ මෙම සම්ප‍්‍රදාය අනුව එතැන් පටන් අපගේ රට පාලනය කිරීමට හැකි වූයේ බෞද්ධ රජ කෙනෙකුට පමණ ය. දහවැනි සියවස වන විට මෙම විශ්වාසය සමාජය තුළ කෙතරම් පිළිගැනීමකට පාත‍්‍ර වී තිබුණේ ද යත් ලක්දිව රජකමට පත්වන කවර රජ කෙනෙකු වුවත් ඔහු බෞද්ධයකු පමණක් නොව බෝධිසත්ත්වයකු වීම ද වැදගත් බව ප‍්‍රකාශ විය. එසේම ඔහු ශාසනයේ ආරක්ෂකයා හා නායකයා විය යුතු ය. දහවැනි සියවසේ රජ කළ හතරවැනි මිහිඳු රජු ප‍්‍රකාශ කර සිටියේ ක්ෂති‍්‍රයකු රජකු වන්නේ බුදුන්වහන්සේගේ පාත‍්‍රය හා සිවුර රකින්නට බව ය.

එදා කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසේ දී දෙවනපෑතිස් රජු දෙවන වරටත් අභිෂේක මංගල්‍යයක් පවත්වමින් එය බෞද්ධ චාරිත‍්‍ර අනුව ඉටු කිරීම වැදගත් සිද්ධියකි. එහිලා ඔහු ප‍්‍රයෝජජනයට ගත්තේ අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථානවලින් ගත් මැටි ය. එතැන් පටන් සංඝයාට අවනතව කටයුතු කිරීමටත් උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා රාජ්‍ය විචාරීමේ දී භාවිතයට ගැනීමටත් ඔහු බැඳී සිටියේ ය. දහවන සියවස වන විට වෙනස්කම් තවත් සිදු විය. රජකු පත්කරන්නේ මහා සංඝයා වහන්සේ විසින් යැයි විශ්වාසයක් ද රට තුළ පැතිරී ගියේ ය. මේ විශ්වාසය වූ කලී කි‍්‍රස්තු පූර්ව අවධියේ පටන් මෙරට පැවැති චාරිත‍්‍රයක් වූ බව දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේ මරණින් පසු රජකමට සුදුසු පුද්ගලයා කවරෙක් දැයි තීරණය කිරීමට සංඝයා වහන්සේ ථූපාරාමයට රැුස්වීමෙන් ම පෙනී යයි. සිංහල ජාතියත්, බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමට හැකි පුද්ගලයකුට සංඝයා වහන්සේගේ ද අනුමැතිය ඇතිව රජකම පවරා දුන් දකුණු ආසියාවේ එකම රට ශී‍්‍ර ලංකාව යැයි කිව හැක. මේ සම්ප‍්‍රදාය මහනුවර යුගයේ නායක්කර් වංශිකයන් රජ කළ සමයේ දී පවා කි‍්‍රයාත්මක වූ බව පැහැදිලි ය. පොළොන්නරු යුගයේ දී පළමුවන වික‍්‍රමබාහුට මෙන්ම දෙවන ගජබාහුට ද රාජ්‍ය අභිෂේකය වළක්වාලීමට සංඝයා වහන්සේ කටයුතු කළේ ඔවුන් බෞද්ධයන් නොවූ නිසා ය.

මහා සංඝයා වහන්සේගේ උපදේශයන් අනුව කි‍්‍රයා නොකිරීම නිසා තුන්වන උදය රජුට පැනවූ දඩුවම හේතුවෙන් හමුදාවෙන් එල්ල වූ විරෝධය හමුවේ එම රජුට සංඝයා වහන්සේගෙන් සමාව අයැදීමට සිදු වූ අන්දම ගැන කියන පුවතක් ද චූලවංසයේ සඳහන් වේ. පොළොන්නරුවේ පළමුවන විජයබාහු රජුගේ මහේෂිකාවගේ සංඝවිරෝධි කි‍්‍රයාවක් නිසා මහරජු තම බිසවට දඩුවම් කළ ආකාරය ගැන පුවතක් ද චූලවංශයේ ඇත. මේ අයුරින් ඇති ප‍්‍රවෘත්තිවලින් අපේ වංසකතා පිරී ඇති අතර එයින් පැහැදිලි වන්නේ රාජ්‍යයත්-මහා සංඝයා වහන්සේත් අතර පෙර කල පැවැති සම්බන්ධතාවය යි. ඒ අනුව පුරාතන ලංකාවේ රාජ්‍ය පාලනය කෙරෙහි බුදු දහමේ මෙන්ම සංඝයා වහන්සේගේ ද නොමඳ බලපෑම් කියා පායි.

විහාරාරාම ඉදිකිරීම, සංඝයා වහන්සේට සිව්පසයෙන් සංග‍්‍රහ කිරීම, ශාසනයේ උන්නතිය සඳහා සෑම සියලු කටයුත්තක් ම සිදු කිරීම බෞද්ධ වතාවත් හා පිළිවෙත් සිරිත් පරිදි ඉටු කිරීම සංඝයා වහන්සේගේ අනුශාසනා ලබාගෙන යුද්ධයේදීත් සාමයේදීත් කටයුතු කිරීම, පවුලේ සමගිය ආරක්ෂා කරගැනීමට භික්ෂුන්ගේ ඔවදන් පිළිපැදීම යනාදී බොහෝ කටයුතුවලට අවනතව කි‍්‍රයා කිරීමට පාලක රජතුමා බැඳී සිටියේය. බුද්ධ ශාසනයට රජතුමන්ගේ කැපවීම කෙතරම් ඉහළ මටට්මක පැවැතියේ ද කිවහොත් ශාසනයේ පැවිදිබව ලබා උත්තරීතර ශාසනික පදවි හෙබවීමට ද රජ පවුලේ සාමාජිකයන් ඉදිරිපත් වූ අවස්ථා එමට ය. ලක්දිව භික්ෂු හා භික්ෂුණි ශාසනය ආරම්භ වී ඇත්තේ ද රජ පවුලේ සාමාජිකයන්ගේ මැදිහත්වීම හේතුකොට ගෙන ය. ශාසන ශොධනය පිණිස කතිකාවත් පැනවීමත්, දුශ්ශී භික්ෂුන් පලවාහැර සසුන ආරක්ෂා කිරීමත් සඳහා පෙර රජදරුවන් කටයුතු කළ ආකාරය ගැන සිතන්නට කරුණු ශාසන කතිකාවත් වලින් මනාව පැහැදිලි වේ.

ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මෙන්ම දළඳා වහන්සේගේ ආරක්ෂාවත් ඒ අනුව මහා විහාරය මෙන්ම අභයගිරි, ජේතවන විහාරත් පෝෂණය කරමින් එහි භික්ෂු මූලායතනවල අභිවෘද්ධිය සැලසීමත් අපේ පෙර රජවරුන්ගේ කාර්යභාරය අතර වැදගත් තැනක් ගත් බව පෙනේ. එදා අනුරාධපුරයේ මහා විහාරය, අභයගිරිය, ෙ–තවනය, මිහින්තලාව වැනි භික්ෂු මූලායතනවල වැඩ සිටි දහස් සංඛ්‍යාත භික්ෂුන් වහන්සේට දිනපතා දන් දීම, රජතුමාගේ කාර්යභාරය වූ අතර එම දානමය කුසල කර්මය සිදු කිරීම පිණිස රටේ ගොවිතැන්-වාරිකර්මාන්තය දියුණු කොට ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට රජතුමා කැප වූ ආකාරය කෙබඳු වී දැයි අදත් රජරට වැව් අමුණු මෙන්ම මහා කෙත්වතු, කුඹුරු බිම්වලින් පැහැදිලි වේ. රජතුමන් විසින් රටේ හැම තැන වෙහෙර විහාර ඇති කොට භික්ෂුන් ආරක්ෂා කිරීම පිණිස ආදායම් මාර්ග සකස් කර දෙන ලද ආකාරය පිළිබඳව සිය ගණන් සෙල්ලිපි මනාව සාක්ෂි දරයි.

සැදැහැවචත් බෞද්ධ ජනතාවගේ ආගමික ජිවිතය උද්දීපනය කිරීම පිණිස රජතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ආගමික උත්සව අතර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි මහ සෑය වැනි පූජනීය ස්ථානවලටත් කරන ලද පූජා මෙන්ම දළඳා පෙරහර හා ප‍්‍රදර්ශන පැවැත්වීමත්, මිහිඳු උත්සව, වෙසක් උත්සව, බණ-පිරිත් පිංකම් ආදිය පැවැත්වීමත් වැනි කටයුතු රජුගේ ම ප‍්‍රධානත්වයෙන් සංවිධානය වූ අයුරින් පෙනී යයි.

අනෙක් අතට අපේ රටේ ඇති වූ හැම කලාංගයකට ම පදනම වූයේත් බෞද්ධාගම යි. සසර දුකත්, ජීවිත අනිත්‍යාවත් පිළිබිඹු කර බුදුන්වහන්සේ කෙරෙහි භක්තිය උපදවා අපායගාමී මාර්ගයෙන් නිර්වාණගාමී මාර්ගය කරා සැදැහැවත් ජනතාව යොමු කිරීමට බෞද්ධ මූර්ති කලාවත්, වාස්තු විද්‍යාවත්, සිතුවම් කලාවත්, අපගේ සාහිත්‍යයත් ඉටුකර ඇති සේවය සලකා බලන කල ජනතාවගේ ජීවිත කෙරෙහි මෙතරම් වූ පුදුමාකාර බලපෑමක් ඇති කළ ආගමක් මේ මිහිපිට, ලක්දිව හැර වෙන තැනක ඇත්දැයි ප‍්‍රශ්න කිරීමට සිදු වේ. සිංහල බෞද්ධයන්ගේ ජීවිත සරල වන්නේත්, චාම් වන්නේත්, සාමකාමී වන්නේත්, අල්පේච්ඡු වන්නේත් බුදු සමයේ ඉගැන්වෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ති‍්‍රලක්ෂණ ධර්මය හේතුකොට ගෙන ය. අවුරුදු දෙදහස් තුන්සියයක් ඉක්මවා ඇති මේ උතුම් බෞද්ධ සම්ප‍්‍රදාය මතු අනාගතය උදෙසා තවදුරටත් ආරක්ෂා කිරීම අපගේ යුතුකම වන්නේ ය. බුද්ධ ජයන්ති උත්සව අර්ථවත් වන්නේ එවිට යි.

- 2550 බුද්ධ ජයන්ති අතිරේකය - ලංකාදීප - 2006

Tags