මහාවිහාර පරම්පරාව මැයින් මවිසින් මෑතකදී ලියන ලද ලිපියක මතු දැක්වෙන සටහන තැබිමි. ඒ මෙසේය,
අවුරුදු දෙසිය පනහකට පෙර ලක්දිව ථෙරවාදී බුදුසසුන තුළ ඇති වු උපසම්පදා කර්මයක් හේතුකොට ගෙන ශ්‍යාමෝපාලි මහා නිකාය නමින් අලුත් නිකායක් බිහි වී ලක්දිව බුදුසමය හා සග සසුන මෙන්ම බෞද්ධ වතාවත් හා පිළිවෙත් ද තායිකරණයට ලක් වී ගිය හැටි වටහාගැනීමට සාධක අවශ්‍ය නැත. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් දේශීය බුදු පිළිම කලාව පවා විනාශයට පත් කරමින් තායිලන්තයෙන් මෙරටට වැඩමවන බුදු පිළිම අද දින ලක්දිව සෑම විහාරයක් පාසාම වඩා හිදුවා මුළු මහත් බෞද්ධ ලංකාවම තායි බෞද්ධ ආධිපතීත්වයට යටපත් කිරීම ගැන ගරුතර මහා සංඝයා වහන්සේ වගකිව යුතු අතර ඒ පිළිබඳව නිහඩව සිටීම ගැන මම පුදුම වෙමි. අද දින මහනුවර දළදා මන්දිරයේ ප‍්‍රධාන බුදු මැදුර තුළ පවා වඩා හිදුවා ඇත්තේ තායි බුදු පිළිමයකි. මෙය ඓතිහාසික මහාවිහාර බෞද්ධ සම්ප‍්‍රදායට පටහැනිව ඇති වු ශ්‍යාමෝපාලි මහා නිකාය මෙන්ම ඒ තුළින් බිහි වු තවත් තායි සංස්කෘතික බීජයක හටගැනීමකි. අවුරුදු දෙසිය පනහකට පසුව වූවත් මේ වරද නිවැරදි කරගැනීමට ප‍්‍රමාද නැත. මේ අනුව රාම\අමරපුර ආදී වශයෙන් ඇති නාමයන් ද වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. (ප‍්‍රණාම 2005 - 24 පිටුව)
මෙවැන්නක් ලිවීමට හේතුවුයේ ලක්දිව වර්තමාන බුදු සදුන තුළ දක්නට ලැබෙන අනේකවිධ වෙනස්කම් හා විකෘතිකම් හේතුවෙනි. ථෙරවාදී බෞද්ධ රටවල් සමග ඇති අපගේ වර්තමාන සම්බන්ධතා ගැන සලකන විට බෙහෙවින් කැපී පෙනෙන්නේ සියම් රට හෙවත් තායිලන්තයයි. එහෙත් පසුගිය ශතවර්ෂය ගැන සලකන කල මේ සම්බන්ධතාව වැඩි වශයෙන් පැවතියේ බුරුමයත් සමගයි. රාම\්\ හා අමරපුර නිකායන් හා බුරුම රටත් සමග පවත්වාගෙන ආ ආගමික සම්බන්ධතා වඩාත් ප‍්‍රබලවීමට හේතු වුයේ ඒ නමින් මෙරට ශාසනික නිකායන් ඇතිවීම හේතුවෙනි. බුරුමයත් සමග අපගේ ආගමික සම්බන්ධතාවලට මේවන විට අවුරුදු දහසක් පමණ ගත වී ඇත්ද නිකාය වශයෙන් බුරුමයත් සමග රාම\්\ හා අමරපුර වශයෙන් සම්බන්ධතා ඇති වී ගෙවී ඇත්තේ අවුරුදු සියකකට මදක් වැඩි කාලයකි. සියම් රටත් සමග අපගේ ආගමික සම්බන්ධතා ආරම්භ වූයේ දහතුන් වැනි සියවසේ දී වූවත් ප‍්‍රබල වුයේ දහහතර වැනි සියවසේදී ය. එනම් පොළොන්නරුවේ දිඹුලාගල වනවාසයත් සමග සම්බන්ධතා ඇතිවීමත් සමග ය. ව්‍යවහාර වර්ෂ 1361 දී දිඹුලාගල වනවාසී සංඝරාජ මාහිමියන් සුබෝදයට වැඩමවීමත්, ලක්දිව සිට බෝධි අංකුර, සර්වඥ ධාතු එහි වැඩමවීමත්, සුබෝදය නගරාසන්නයේ සිංහල ගම්මාන ඇති කිරීමත් බුදු පිළිම වැඩමවීමත් හා මේ සියල්ලටම වඩා සියම් රටේ සිහල සංඝ උපසම්පදාව ඇති කිරීමත් යන කරුණු තායි - ශ‍්‍රී ලංකා සංසකෘතික සම්බන්ධතාවේ පදනම වශයෙන් නම් කළ හැක. මේ කරුණු තවදුරටත් විස්තර කළ යුතු ය.
තායිලන්තයේ බෞද්ධ ඉතිහාසය තායි ජාතිකයෝ චීන බලපෑම්වලට ගොදුරු වී සිටියහ. තායිලන්තයට සංක‍්‍රමණය වීමට පෙර ඔවුහු බුදු දහම ගැන දැන නොසිටියහ. තායිලන්තයට බෞද්ධ බලපෑම් ඇතිවුණේ බුරුම රටෙනි. එසේම තායි-ලංකා සම්බන්ධතා ගොඩනැගීමට හේතුවුයේ ද බුරුම රටයි. බුරුමයත් ශ‍්‍රී ලංකාවත් අතර පැවති ආගමික හා සංස්කෘතික සබදතා එයට හේතුවයි. මෙකී සංස්කෘතික හා ආගමික සම්බන්ධතා හේතුවෙන් තායිලන්තයේ බෞද්ධ ප‍්‍රබෝධයට ලංකාව බෙහෙවින් උපකාරී වී ඇති අතර තායි රජවරුන් පවා බෞද්ධයන් බවට පත් කිරීමට ශ‍්‍රී ලංකාව දායකත්වයක් ලබා දී ඇත. එකළොස් වැනි සියවස වන විටත් තායිලන්තය ඈත පෙරදිග රටවල් අතර බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් සැලකුණු අතර එකල මධ්‍යම තායිලන්තය හැදින්වූයේිද්වාරවතී’ යන නමිනි. තායිලන්තය හා ශ‍්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා දියුණු වූණේ 13 වැනි සියවසේ සුබෝදය අවධියේ ය. දහහතර වැනි සියවසේදී සිංහල සංඝයා වහන්සේ තායිලන්තයට වැඩමවා සිංහල උපසම්පදාව පිහිටුවාලීමෙන් එහි බුදුසසුන යම් ලෙසකින් ආරක්ෂිත කළෝද එපරිද්දෙන්ම කන්ද උඩරට රජ කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය සමයේ දී එනම් 1753 දී උපාලි හිමියන් ප‍්‍රමුඛ භික්ෂූහු තායිලන්තයේ සිට මල්වතු මහාවිහාරයට වැඩමවා අභාවයට යමින් පැවති ලක්දිව බුදු සසුන උපසම්පදාව ඇති කිරීමෙන් යළි ස්ථාපිත කර දුන්හ. මේ අනුව සිදුවී ඇත්තේ 14 වැනි සියවසේ දී ලක්දිවින් සියම් දේශයට උපසම්පදාව ලබාදීමත් එය යළිත් 18 වැනි සියවසේ දී මෙරටට ලබා ගැනීමත් යන කාරණාව සිදුවීම ය. ඒ ක‍්‍රියාමාර්ගය තුළින් ශ්‍යමෝපාලි නිකාය මගින් වෙනම භික්ෂු සංවිධානයක් ලක්දිව ඇති විය. එම කටයුත්ත සිදුවී දැනට වසර දෙසිය පනස් දෙකක් ගතවී ඇත.
එහෙත් 14 වැනි සියවසේ දී ලංකාව හා සියම් දේශය අතර පැවති ආගමික හා සංස්කෘතික සම්බන්ධතා කෙරෙහි අපගේ අවධානය යළිත් යොමු කිරීම වැදගත් ය. එම ශතවර්ෂයේ දී ම ලංකාවෙන් බුරුම රටට වැඩි උදුම්බර මහස්වාමි හෙවත් මේධංකර මාහිමියන් සුබෝදය රජුගේ ඉල්ලීම පරිදී සීහල උපසම්පදාව තායි රටේ ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධියකි. එකල සියමේ අවශ්‍යතාව වී තිබුණේ ආර\්\ක භික්ෂු පරම්පරාවක් එහි දී ඇති කිරීම ය. අපට ලැබී ඇති තොරතුරු අනුව වර්ෂ 1361 දී ඉහත සඳහන් කළ මේධංකර සංඝරාජ හිමියන් සුබෝදයට වැඩම කිරීමත් එහි ආර\්\ක විහාරයක් ඇතිකර නගරාසන්නයේ සිංහල ගම් පහක් ස්ථාපිත කිරීමත් වැදගත් කටයුත්තකි. එසේම ඒ අවස්ථාවේ දී සුබෝදයේ මහා බද්ධ ගම්භීර හිමියන් හා එක් වු දිඹුලාගල මේධංකර හිමියන් සිංහල උපසම්පදාව සියමෙහි ආරම්භ කොට රත්නවන විහාරයේ භික්ෂූන් දහස් ගණනකට උපසම්පදාව ලබාදීමත් විශේෂ වැදගත් සිද්ධියකි. මේ අවධියේ දී ම වාගේ සියම් කුමරකු මහණවීම පිණිස ලක්දිවට පැමිණීමත් සර්වඥ ධාතු ලබාගෙන සියමට වැඩමවීමත් යන කාරණා දෙක ද කැපී පෙනේ.
තාමමිංගම් හෙවත් තම්බරට්ඨ ධර්මකීර්තී හිමියන් 14 වැනි සියවසේ ලක්දිවට වැඩම කොට ගඩලාදෙණියේ වෙසෙමින් ධර්මකීර්ති මහාසාමිගෙන් ධර්මය උගෙන සද්ධම්ම සනාහ නමැති කෘතිය සම්පාදනය කිරීමත් වැදගත්ය. උන්වහන්සේ පසුව අයෝධ්‍යා නගරයට වැඩ ලංකාරාමයේ වාසය කිරීම පිණිස ගිය බව පැවසේ. දහසය වැනි සියවස උදාවත් සමග ලක්දිව විදේශ ආක‍්‍රමණයට ගොදුරු වීම අභාග්‍යසම්පන්න සිද්ධියක් විය. පෘතුගීසීන්ගේ සම්ප‍්‍රාප්තියත් ඉන් අනතුරුව ලන්දේසීන්ගේ පැමිණීමත් නිසා බුද්ධ ශාසනයට මෙන්ම ලංකා සමාජයටත් සිදුවූයේ ඉමහත් හානියකි. මුහුදුබඩ පළාත් පමණක් නොව කන්ද උඩරට රාජධානියට ද එම විදේශ බලපෑම දරුණු ලෙස බලපාන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකා සමාජය දේශපාලනික, ආර්ථික හා සමාජ යන අංශයන්ගෙන් පමණක් නොව, ශාසනික වශයෙන්ද ඉමරිහානියට පත් විය. ලක්දිව එකදු උපසපන් භික්ෂුවක් හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයට රට පත්වුණාය යන්න අතිශයෝක්තියක් විය නොහැක. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ ද වැලිවිට සරණංකර හිමියන්ගේ ද උත්සාහය නිසා යළිත් මෙහි උපසම්පදාව පිහිටුවීමට හැකිවීම උදාර සිද්ධියකි.
වර්ෂ 1753 දී මහනුවර මල්වතු විහාරයට වැඩම කළ උපාලි හිමියන් ඇතුළු සංඝයා වහන්සේ මෙහි උපසම්පදාව පිහිටුවීමට උපකාරී වූවා පමණක් නොව, ඒ මගින් තායි සංඝ පිළිවෙත් ද සිංහල භික්ෂූන් වහන්සේට උගැන්වූහ. එයින් සිදුවූයේ එතෙක් සිංහල රටේ මහාවිහාරික භික්ෂූ පරම්පරාව විසින් රැුකගෙන පැමිණි භික්ෂූ වතාවත් හා පිළිවෙත් ද තායි සම්ප‍්‍රදායට අනුකූලව හැඩගැසීම ය. ඒ අතර උපසම්පදා කර්මය පැවැත්වීම, සීමා බන්ධනය, කඨින උත්සවය හා පොහොය කිරීම ආදිය හා සම්බන්ධ චාරිත‍්‍ර-වාරිත‍්‍ර වැදගත් ය. මීට අමතරව කම්මාවාචා කීම හා විදර්ශනා භාවනා ක‍්‍රමය ප‍්‍රචචිත කිරීම ද, තායි භික්ෂූන් වෙතින් සිදුවූ වැදගත් සේවාවකි. එදා උපාලි හිමියන් වෙතින් මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූ භික්ෂූන් අතර සිටි සියලුදෙනා ගොවිගම වංශිකයන් නොවීම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. නිදසුනක් වශයෙන් සිටිනාමලුවේ හිමියන් ගැන සඳහන් කළ හැකි ය. උන්වහන්සේ සරණංකර සංඝරාජ හිමියන්ගේ ගෝලයකු වශයෙන් සියමෙන් වැඩි උපාලි හිමියන්ගෙන් ම උපසම්පදාව ලැබ මාතොටට වැඩම ස්වකීය ශාසනික සේවාවෙහි යෙදුණාහ. එහෙත් එදා උපාලි හිමියන්ගෙන් හා සරණංකර සංඝරාජ හිමියන්ගෙන් ලබාගත් මහගු ආදර්ශය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍යාමෝපාලි මහා නිකායට නොහැකි වීම ලංකා ශාසන ඉතිහාසයේ අභාග්‍යසම්පන්න සිද්ධියක් මෙන්ම අපගේ අවාසනාවක් වශයෙන් ද සැලකිය යුතු ය. එය ලක්දිව ථෙරවාද සම්ප‍්‍රදායට වැදුණු බලවත් පහරකි.
තායි උපසම්පදාවත් සමග සියම්-ලංකා සබදතාව ආගමික වශයෙන් පෝෂණය වූ අතර අනෙක් පසින් දේශපාලන වශයෙන් ද සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීමට හේතු වූයේ බලවත් වූ සංඝයා වහන්සේගේ ක‍්‍රියාවන්ට හා මතවාදයන්ට අවනත වීමට රජවාසලට සිදු විය. එදා තායි රජතුමා හා එරට භික්ෂු සංඝයා වහන්සේ අතර යම් සම්බන්ධතාවක් පැවතියේද එසේම ශාසනික කටයුතු යම් සේ සිදුවුයේද ඒ අයුරින් ම ලක්දිව ද කටයුතු සිදුවිය යුතු බවට සිංහල භික්ෂූන් වහන්සේලා සිතු බවට ඉන් අනතුරුව සිදු වු බොහෝ සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. ඉන් ප‍්‍රධාන වන්නේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සිහසුනෙන් පලවාහැර බෞද්ධ රජකු සිහසුනට පත්කර ගැනීමට වැලිවිට සංඝරාජ හිමියන් මෙනේම තිබ්බටුවාවේ මහානායක හිමියන් ද ඉදිරිපත් වීමයි.
බුුදුසමයේ පුනර්ජීවය උදෙසා අපරිමිත සේවාවක් ඉටු කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ පාලනය සම්බන්ධයෙන් ද භික්ෂූන් අතර මතභේද පැවති බවට ඔහුට විරුද්ධව එදා මල්වතු විහාරයේ ප‍්‍රබල භික්ෂූන් ක‍්‍රියාකාරී වු සිද්ධියකින් පැහැදිලි වේ. රජු සිහසුනෙන් පහ කිරීම පිණිස වර්ෂ 1760 සිදු වු කුමන්ත‍්‍රණය වැදගත් වන්නේ සිංහල රටේ බෞද්ධ පාලකයෙකු සිහසුනේ තබාගෙන රට පාලනය කරවීමට එදා භික්ෂූ නායකත්වයට තිබු උනන්දුව හා අවශ්‍යතාව යි. මේ අනුව රජු මරණයට පත්කොට ඔහු වෙනුවෙන් අනුප‍්‍රාප්තිකයා වශයෙන් තෝරාගත්තේ ද සියම් කුමාරයෙකි. මෙයින් අදහස් වන්නේ සියම් උපසම්පදාව අපේ රටේ ආගම පමණක් නොව රාජ්‍ය පාලනය කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කළ බව ය. මෙවැනි අදහසක් පවා ඇතිවන්නට ඇත්තේ උපසම්පදා කර්මය පිණිස සියමෙන් මෙහි පැමිණි සියම් භික්ෂූන්ගේ යෝජනාවක් නිසා යැයි සමහරු කල්පනා කරති. මහනුවර සිංහාසනය සඳහා සියම් කුමරෙකු එවන ලෙෂ සියම් රජුට සන්දේශයක් යවන ලද්දේද ධර්ම ග‍්‍රන්ථ ලබාගන්නා මුවාවෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සියම් රජු විසින් ධර්ම ග‍්‍රන්ථ සමග සියම් කුරෙකු මෙහි එවන ලද්දේ භික්ෂූ වේශයෙනි. ක‍්‍රි. ව. 1732-58 අතර කාලයේ සියමේ රජකළ බෝරොම්කොත් රජුගේ දෙවන බිසවගේ පුත‍්‍රයෙකු වු මොහු හැඳින්වුයේ ක‍්‍රම්ස්ටි පිපිත් කුමරා ලෙසිනි. කුමන්ත‍්‍රණය පිළිබඳ කරුණු කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට සැලවීමෙන් පසු ස්වකීය ජීවිතයට මල්වතු විහාරය තුළදීම සිදුවන්නට ගිය විපත්තිය ඔහු විසින් ම වළක්වා ගන්නා ලදී. සංඝරාජ හිමියන් මෙන්ම තිබ්බටුවාවේ නායක හිමියන් ද තනතුරුවලින් පහකර සිරකොට තැබීමට රජුට සිදු විය. මීට වඩා දඩුවමක් දීමෙන් රටවැසියා රජුට විරුද්ධව නැගී සිටිනු ඇතැයි රජු තුළ ද බියක් එදා ඇතිවන්නට ඇත. කෙසේ වූවද නුවණ පාවිච්චිකොට රජතුමා මාහිමිවරුන් දෙදෙනාහට සමාව දුන්හ. එය එසේ වන්නට ඇත්තේ ද රටවැසියන්ගේ දයාව හා අනුකම්පාව ලබාගන්නා අටියෙන් විය හැකි ය. කුමන්ත‍්‍රණය වැරදී ගියද මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ සියම් උපසම්පදාව මාර්ගයෙන් අප රට තුළ සියම් බලපෑම ඇතිකරරීමට එදා සියම් මහරජතුමන් පවා ඉදිරිපත් වු ආකාරය යි. දේශපාලන වශයෙන් ඒ ක‍්‍රියාව එදා කළ නොහැකි වූවත් කල්ගෙවා හෝ එය සඵල කර ගැනීමට සංස්කෘතික සබඳතා යොදාගත් අයුරු අද සිංහල බෞද්ධ සමාජය තුළ දක්නා ලැබෙන සංස්කෘතික ආභාසයේ බලපෑම්වවින් වටහාගැනීමට කරුණු ඇත. ඒ පිළිබඳ තොරතුරු අවබෝධ කරගත යුත්තේ සිදුවන දෙයින් ය. ඒ සියල්ල විස්තර සහිතව ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාව නොවන බැවින් කෙටියෙන් සඳහන් කරමි.
අවුරුදු දෙදහස් තුන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති බෞද්ධ ශ‍්‍රී ලංකාව අවුරුදු දහසක් වයස් ඇති බෞද්ධ තායිලන්තයේ ග‍්‍රහණයට අසුවීමට පටන් ගත්තේ 1753 දී ලබාගත් තායි උපසම්පදාවත් සමග ය. කරුලු හා ආභරණ පැළදි බුදු රූ නෙළීම පවා ලක්දිව ප/චචිත කිරීමට එකල සියම් රජුට අවශ්‍ය වූවත් එය මෙහිදී ප‍්‍රතික්ෂේප විය. එහෙත් අද ලක්දිව සෑම විහාරයකටම තායිලන්තයෙන් වැඩම වන බුදු පිළිම නිසා ඒ කටයුත්ත කාහටත් නොදැනී සූක්ෂමව සිදුවෙයි. රන් ආලේපිත බුදු පිළිම ලබා ගැනීමට අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේ දක්වන උනන්දුවෙන් පෙනී යන්නේ ආටෝපයට ඇති කැමැත්ත විනා බුදුකය පිළිබඳ අවබෝධයක් නොවේ. සිවුරු ඇදීම, බැම බු ගෑම, කුඩ භාවිතය වැනි අංග ත්‍කරෙහි ද අවධානය යොමු විය යුතුය.
සියම් උපසම්පදා වතාවත් සැලකීමෙන් වුව මේ කරුණු වටහාගත හැකිය. වාහල නාග චාරිත‍්‍රය ගැන හෝ යථා අවබෝධයක් අපගේ භික්ෂූන් වහන්සේට ඇතැයි මම විශ්වාස නොකරමි. එයද සියම් ඇදහීමකි. මහ පිරිත දෙසීම, තල්අතු භාවිතය, තායි කුඩ, පාවහන්, වටාපත් භාවිතය, තායි පටලේන්සු, පිරිත් නූල්, ඉටිපන්දම්, සුවඳකූරු, හා තායි සිවුරු හා පාත‍්‍ර භාවිතය ද රන් පිළිම මෙන්ම තායි ක‍්‍රමයට දානමාන සිදු කිරීම සුප් පරිභෝජනය පමණක් නොව සමහර අවස්ථාවලදී වාහන අලංකාරය පිණිස යොදාගන්නා විසිතුරු භාණ්ඩ හා බෞද්ධ සංකේත ද තෑගි දෙන පෑන්-පැන්සල හා විසිතුරු කෘත‍්‍රිම මල් වර්ගද ආදී වශයෙන් මේ සංස්කෘතික ආක‍්‍රමණය වටහා ගත හැක. මේ අනුව බලන කල ලක්දිව සංඝයා වහන්සේ අද බොහෝ සෙයින් පිළිපදින්නේ තායි චාරිත‍්‍ර - වාරිත‍්‍ර හා වත් පිළිවෙත් ය.
අපගේ ඉතිහාසය තුළ වරින් වර ක‍්‍රියාත්මක වී ඇති විදේශික බලවේගයන් ෂලකන විට හැමදාමත් යුද බලයෙන් රටක් අවනත කිරීමට නොහැකි වු කළ සිදුකර ඇත්තේ සංස්කෘතික ආක‍්‍රමණයයි. පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන් හා ඉංග‍්‍රීසීකාරයන් ද දේශපාලනික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද මේ ආක‍්‍රමණ සිදුකර ඇත. බෞද්ධ රටක් කෙරෙහි තවත් බෞද්ධ රටක් මේ ආකාරයේ ආක‍්‍රමණයක් සිදුකර ස්වකීය රටේ අනන්‍යනතාව හා ආධිපත්‍යය තහවුරු කරගැනීමට යම් යම් ක‍්‍රියාමාර්ග ගන්නා විට ස්වකීය දේශීය අනන්‍යනාතව ආරක්ෂාකර ගැනීම උදෙසා ද ඇප කැප වී කටයුතු කිරීමට දේශවාසීන්ට මෙන්ම බලවතුන්ට යුතුකමක් ඇත. අපගේ ගරුතර සංඝයා වහන්සේ මෙන්ම ගිහි බෞද්ධ නායකයන් ද මේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය. ඒ මගින් ලක්දිව ථෙරවාදී බෞද්ධ සම්ප‍්‍රදාය තහවුරු කළ යුතු ය.