සිංහල ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි. අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුන්ගේ දහම් පණිවිඩය ගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව ජීවත්වීම උදෙසා සිංහලයන්ට නව ජීවන මාර්ගයක් මෙන්ම දර්ශනයක් ද හිමි වූයේ ය. එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඪවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මග ඇරඹුණේය.
